අගමැතිගේ ඉවසීම යහපත් ලක්ෂණයක්

0 Jan 05, 2019 10.28am Gossip

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීමේ ගුණය ඉතා යහපත් ලක්ෂණයක් බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පැවැසූහ.

සෙනෙට් සභාවක අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද මහ නාහිමියෝ ප්‍රකාශ කළහ.

රටේ සාමය ඇති කරමින්, සදාචාරය වැඩි දියුණු කරමින් ඒවා තුළින් රට සමෘද්ධිමත් කර ගැනීම පිළිබඳ තමන් වහන්සේ සමඟ සිදු වූ සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා ඉතා හොඳින් සවන් දෙමින් අදහස් ප්‍රකාශ කළ බව ද නාහිමියෝ කීහ.

කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ මේ අදහස් පළ කළේ, පෙරේදා (03) ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ මහ නාහිමියෝ,

අග්‍රාමාත්‍යවරයා සමඟ මෙරට සුබ සිද්ධියට හේතුවන කරුණු කාරණා පිළිබඳ කතා කළා. දේශපාලන හා පුද්ගලයන් පිළිබඳ කතා බහ කළේ නැහැ.

මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට වන විපත්ති, ධර්මය ස්ථාවර කිරීමේ කටයුතු සහ තවත් ජාතික ආගමික ප්‍රශ්න පිළිබඳ කතා බහ කළා. ථෙරවාදී බුදු දහම මෙරටින් ලෝකයට තව තවත් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මීට පෙරත් අප සමඟ කතා බහේ දී සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳ සියලුම නිකායන්හි මහ නාහිමිවරුන් සමඟ කතා බස්කොට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියන ස්ථාවරයේ අග්‍රාමාත්‍යවරයා සිටිනවා. මේ පිළිබඳ අද දින එතුමා කතා කළා.

වෙළෙඳාම පිළිබඳ මා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළා. දේශීය නිෂ්පාදනවලට හානි වන අන්දමින් කටයුතු නොසිදුවිය යුතු බවත් සිදුවිය යුත්තේ දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත්වීම බවත් මා පෙන්වා දුන්නා. ඒ වගේම මෙරට දරුවන්නේ අනාගතය ශක්තිමත් වන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බව ද එතුමාට ප්‍රකාශ කළා.

මේ රටේ සෙනෙට් සභාවක් තිබිය යුතු බව මා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවට අවශ්‍ය දුර දිග බලන පිරිසක්. සෙනෙට් සභාවක් තිබෙන සෑම රටකම බුද්ධිමත් තීරණ ගත හැකියි. මේ තත්ත්වය අපේ රටේ නැහැ. කර්මාන්ත, රැකීරක්ෂා, සදාචාරය ආදී කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කළා.

ඉදිරි දස අවුරුද්ද තුළ රටට වැදගත් කරුණු කාරණා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ද මෙහි දී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. එතුමාගේ ඉවසිලිවන්ත භාවය පිළිබඳ ද මා ස්තුතිය පළ කළා. මේක වටිනා ලක්ෂණයක්. මනුෂ්‍යයකුගේ දියුණුවට හේතුවක්. මගේ උපදෙස් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හොඳින් සවන් දුන්නා යනුවෙන් පැවැසූහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post