රනිල් යහපාලනයත් රටත්- එජාපයත් විනාශ කළා

0 Dec 05, 2018 09.08am Gossip

රනිල් වික්‍රමසිංහ මහතා යහපාලනයත් රටත් එජාපයත් විනාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුව අමතා ඊයේ ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුනහමාරක කාලය තමා ගතකළේ අතීශය පීඩාවකින් බව කී ජනාධිපතිවරයා, රනිල් අගමැතිකමින් ඉවත්කිරීම හැර තමන්ට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් ඉතිරිව නොතිබූ බවද කීවේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිවරයා වශයෙන් පත් නොකරන්නේ ඒ මහතා සමඟ තිබෙන පෞද්ගලික ප්‍රශ්නයක්, පාට පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොව ඔහු රටට මෙන්ම දේශපාලන දර්ශනයට, සිතන පනත ආකාරය, සංස්කෘතිය, සිරිත් විරිත් ආදිය රටට කිසිසේත් නොගැලපෙන නිසාය. ඔහු තුළ මේ කිසිඳු ගුණාංගයක් නැතැයි පෙන්වාදුන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටි ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී විජේතුංග මහත්වරුන් දේශපාලන වශයෙන් කුමක් වුවද රටට ආදරය කළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා තුළ එම කිසිදෙයක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

අන්ත දක්ෂිනාංශික ලිබරල්වාදයෙන් හිරිවැටුණු රනිල් වික්‍රමසිංහ මහතාට මේ කිසිවක් නොදැනෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය 2014 වසරේ නොවැම්බර් මස 21 දා ගත් තීරණය අදටත් නිවැරැදි බව ද එසේම පසුගිය ඔක්තෝබර් මස 26 දා තමා විසින් ගන්නා ලද දේශපාලන තීන්දුව ද ඉතා නිවැරැදි එකක් බව ද පැවැසීය. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ තමා ගත් තීරණය නිවැරැදි වන්නේ දේශපාලන දර්ශනයක් තුළ සිට රට වෙනුවෙන් ගත් තීරණයක් නිසා බවයි.

රට තුළ දේශපාලන ගැටුමක් නොමැති අතර රටතුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බව ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, රට විනාශ කළ බවත් යම් ප්‍රමාණයකින් තමාද විනාශ කළ බවත් පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හදිසි තිරණයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා වත්මන් අර්බුදය නිර්මාණය කළේ තමන් නොව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම අතුළු ගැසට් නිවේදන 5ක් සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබුවේ රට බේරා ගැනීමේ අරමුණින් බව ද පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීන්දුව ඊයේ දිනට, අද දිනට මෙන්ම හෙට දිනටත් නිවැරදි බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය කරනු ලැබුවේ රට බේරාගැනීමේ අරමුණින් බව ද රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කිරීම හදිසි තීන්දුවක් නොව වසර තුන හමාරක් දුෂ්කර ගිරි දුර්ගයක ගමන් ගනිමින් ගත් තීන්දුවක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, රට, එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම තමාව ද විනාශ කළ බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලට දිය හැකි පිළිතුර වූයේ ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීම බව ද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්‍ෂිණාංශික ලිබරල්වාදී වැඩපිළිවෙලෙහි කුණුගොඩක් බවට රට පත්නොවිය යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

හිටපු අගමැති දී.මු ජයරත්න, එස්.බී දිසානායක, ආරචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ, විජිත් විජයමුණි සොයිසා, ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, වීරකුමාර දිසානායත, ඉන්දික බණ්ඩාරනායක, අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරු ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, දිස්ත්‍රික් සංවිධායකයින්, ආසන සංවිධායකයින් පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post