නිශාන්ත සිල්වාගේ මාරුවට ජනපති සම්බන්ධ නෑ

0 Nov 28, 2018 09.14am Gossip

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ස්ථාන මාරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා වෙත කිසිදු නියෝගයක් නිකුත් නොකළ බව ඉතා පැහැදිලිව හා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි. මෙම ස්ථාන මාරුව ජනාධිපතිවරයාගේ බලපෑම මත සිදු කළ බවට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දැනුම් දී ඇති ලිපියක් පුවත්පත් හා සමාජ මාධ්‍ය වෙත ලබා දී තිබීම ප්‍රශ්නයක් ඇති කිරීමේ අරමුණින් කවුරුන් හෝ සිතාමතා සිදු කළ දෙයක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

මාධ්‍යවල මෙම ලිපිය පළවීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා පොලිස්පති ගෙන්වා ඒ සම්බන්ධයෙන් තරයේ අවවාද කර මෙවැනි දෙයක් ජනාධිපතිවරයා කිසිසේත් පවසා නොමැති බව දැනුම්දී ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි. ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසිය.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මාරුකිරීම සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ බලපෑම මත බවට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත යවා ඇති බවට ලිපියක් මාධ්‍යවල පළ වී තිබෙනවා. එහෙත් ජනාධිපතිවරයා කිසිසේත් ම එවැනි නියෝගයක් පොලිස්පතිවරයාට දී නැතැයි කියා මම ඉතා පැහැදිලිව හා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ ලිපිය සමාජ වෙබ් අඩවිවලට හා පුවත්පත්වලට කොහෙන්ද නිකුත් වුණේ කියලා අපි දන්නේ නෑ.

කවුරුන් හෝ සිතාමතා ප්‍රශ්නයක් ඇති කරන්න මෙවැනි දෙයක් සිදු කළා වෙන්නත් පුළුවන්. මේ ලිපිය පළ වී ඒ ගැන මාධ්‍ය විවිධ අදහස් පළ කිරීමට පටන් ගැනීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ගෙන්වා ඒ ලිපිය සම්බන්ධයෙන් තරයේ අවවාද කර තිබෙනවා. එවැනි දෙයක් ජනාධිපතිවරයා කිසිසේත් පවසා නොමැති බවත්, එවැන්නක් කෙළේ නම් ඒ බව ලිඛිතව දැනුම්දී තිබිය යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී පවසා තිබෙනවා. එවැනි මාරුවක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා ලිපියක් එවා තිබුණා නම් එය පෙන්විය යුතුයි.

නැතිනම් ආරක්ෂක ලේකම්වරයා ලිපියකින් දන්වන්න ඕනෑ. එවැනි කිසිවක් නැතිව හිතාමතා ලියුමක් පෙන්වා ජනාධිපතිවරයා මෙයට සම්බන්ධ කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සොයන්න ජනාධිපතිතුමාට කිසිම උනන්දුවක් නෑ. මේක කෙළේ එය කඩාකප්පල් කරන්න කියලා තවත් පිරිසක් කියනවා. තාජුඩීන් ඝාතනය ගැනත් නිශාන්ත සිල්වා තමයි සියලු පරීක්ෂණ කටයුතු කරන්නේ. ඒවා කඩාකප්පල් කරන්න හිතාමතා ජනාධිපතිවරයා කටයුතු කළා කියලා තවත් සමහරු මාධ්‍යවලින් කියන්න හදනවා ඊයේ මම දැක්කා. අපි ජනධිපතිතුමාගෙන් ඒ ගැන ඇසුවාම එතුමා ඉතා පැහැදිලිව කීවා තමන් ඒ ගැන කිසිම නියෝගයක් ලබා දුන්නේ නෑ කියලා. ඒ ගැන දැන් ආරක්ෂක ලේකම්තුමා කටයුතු කරන්න පටන් අරන් තිබෙනවා.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post