මත්ද්‍රව්‍ය වැටලීම් වාර්තා මාස්පතා ලබාදෙන්න

0 Nov 27, 2018 09.27am Gossip

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර හමුවක් ඊයේ(26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ. ඡායාරූපය - සඳරුවන් අමරසිංහ
ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාස්පතා ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

පාතාලය මර්දනය කිරීම වෙනුවෙන් දැඩි තීන්දු සමඟ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු ඊයේ (26) හමුවු අවස්ථ‍ාවේදී මෙම උපදෙස් ලබාදී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප්‍රමිතියකින් යුත් කාර්යක්ෂම මහජන හිතකාමී ප්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට සියලු නිලධාරින් රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සියලුදෙනාට ස්තුතිය පළ කළේය.

වඩාත් ශක්තිමත් සහ ගුණාත්මක සේවාවක් ලෙස පොලිස් සේවාව පවත්වාගෙන යාම සඳහා ක්ෂේත්‍රයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් හා යෝජනා කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනාට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ සියලු ගැටලු සාකච්ඡා සහ සංවාද මඟින් විසඳා ගැනීමට ඇති හැකියාවද පැහැදිලි කළේය. එමෙන්ම පහළ ශ්‍රේණි‍වල පොලිස් නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත්කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත්කිරීමටද උපදෙස් දෙනු ලැබීය.

අද දවසේ මෙන්ම හෙට දවසේ රට හමුවේ ඇති අභියෝග හඳුනා ගනිමින් සැලසුම්සහගතව පොලිස් දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා පොදුජනයා අපේක්ෂා කරන සාධාරණ හා අපක්ෂපාතී පොලිස් සේවයක අවශ්‍යතාවත් පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණු අතර, පසුගිය මාස තුන තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙසත් අද සිට මාස්පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියද විමසා බැලුණු අතර පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු සමඟ ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post