විශ්වාසභංගයට විපක්ෂයෙන්ම පොල්ලක්!

0 Nov 27, 2018 09.26am Gossip

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් 122ක් ඊයේ (26) අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමත් සමඟ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු‍ෙව්දී විවාද කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රතිභා මහානාම සඳහන් කළේ අධිකරණය හමුවෙහි විභාගවන කරුණක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත නොහැකි බවයි. එය අධිකරණයට මැදිහත්වීමක් ලෙස සැලකිය හැකි බව ද මහාචාර්ය මහානාම පෙන්වා දුන්නේය. එජාපය, දෙමළ ජාතික සන්ධානය, ජවිපෙ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කගේ අත්සනින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (26) අභියාචනාධිකරණය විසින් සළකා බැලිනි. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් සලකා බැලුනු අතර අදාළ පෙත්සම ලබන 30 සහ දෙසැම්බර් 03 දිනවල සලකා බැලීමට නියම කෙරිණි.

එසේම මෙම නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශව වෙත නඩු දිනයට පෙර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැන්වීය.

මෙම පෙත්සම මඟින් කියා සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත නොමැති බවත්, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයට අනුව රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් ය. ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නිත්‍යානුකූල හිමිකමක් නොමැති බව තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් ද නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටී. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙක් නම්කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමකිරීමත් සමඟම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් එම යෝජනාව අධිකරණ නියෝගය ලැබෙනතෙක් කල් දැමිය යුතු බව තම මතය වන්නේ යැයි මහාචාර්ය ප්‍රතිභා මහානාම පැවසීය.

එසේම ඒ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසින් තීරණය කිරීමට අදාළ කාරණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට යොමුකර තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ විෂයට භාජනය වන කිසිවක් සම්බන්ධයෙන් අධිකරණයට විමසීම, නියෝග කිරීම, සොයාබැලීම ව්‍යවස්ථාව මගින් වලක්වා ඇති බවය.

එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳව තීරණය කළයුත්තේ පාර්ලිමේන්තුව මිස අධිකරණය නොවන බව ද උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට අධිකරණයෙන් පෙට්‍රල් මිල අඩු කිරීමට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නියම කළවිට පාර්ලිමේන්තුව එය ගණනකටවත් නොගත් බව ද මහාචාර්ය මහානාම පෙන්වා දුන්නේය.

එමෙන්ම හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ ඉල්ලීම පාර්ලිමේන්තුව නොසළකා හැරි බව සිහිපත් කළ මහාචාර්ය මහානාම පාර්ලිමේන්තුව අධිකරණයට අදාළව හෝ අධිකරණය පාර්ලිමේන්තුවට අදාළව හෝ ‍නියෝග නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති මූලධර්මවලට එකඟ නොවන බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post