මට්‌ටක්‌කුලිය කාන්තාව එල්ලුම්ගහෙන් බිමට බසී!!

0 Aug 18, 2018 09.46am Gossip

හෙරොයින් ග්‍රෑම් 21.67 ක ප්‍රමාණයක්‌ සන්තකයේ තබා ගැනීමේ හා ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකාරිය කොට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර තිබූ විත්තිකාරියක්‌ අධිචෝදනා දෙකෙන්ම නිදොස්‌ කොට නිදහස්‌ කර මහාධිකරණ නියෝගය අවලංගු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 
 
 මට්‌ටක්‌aකුලිය ප්‍රදේශයේ පදිංචි ආර්. මංගලිකා නමැති එම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවේ සාක්‌ෂි විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි ලබාදුන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‌ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිවුදෙනා ලබාදුන් සාක්‌ෂිවල පැවැති බලවත් පරස්‌පරතාවයන් නොසලකා හරිමින් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරියට මරණීය දණ්‌ඩනය නියම කොට තිබීම සාධාරණ යුක්‌ති මූලධර්මවලට පටහැනි බව අභියාචනාධිකරණය දැන්වීය. එස්‌. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී අභියාචනා පෙත්සම කැඳවූ අවස්‌ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගයාන් පෙරේරා මහතා දීර්ඝ ලෙස කරුණු දක්‌වමින් පැමිණිල්ලේ සාක්‌ෂිකරුවන් ලබාදුන් සාක්‌ෂිවල පැවැති බලවත් දුර්වලතාවන් කෙරෙහි තමන් උගත් මහාධිකරණ විනිසුරුවරයාගේ අවධානය යොමු කළත් ඒවා නොසලකා එම තීන්දුව ලබාදී ඇති බව සඳහන් කළේය. 
 
 2008 සැප්තැම්බර් 26 වැනිදා පෙරවරුවේ රතු පැහැති යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලද තොරතුරක්‌ අනුව එම වැටලීම සිදු කළ බව පොලිස්‌ පරීක්‌ෂක රංගජීව මහතා ලබාදුන් සාක්‌ෂිය අනුව පෙනී යන නමුත් ඔහු සමඟ එම වැටලීමට සම්බන්ධ වූ සෙසු නිලධාරීන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමේදී ඊට හාත්පසින්ම වෙනස්‌ ආකාරයෙන් සාක්‌ෂි ලබාදී ඇති බව ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එකී තීන්දුව මගින් පෙන්වා දී තිබිණි. නීතිඥ ප්‍රභා පෙරේරා මහත්මියගේ උපදෙස්‌ මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ගයාන් පෙරේරා මහතා පෙත්සම්කාර විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post