දියණියගේ අනියම් සැමියාගේ පිහි පහරින් 55 හැවිරිදි මව මරුට

0 Aug 11, 2018 10.05am Gossip

කොට්‌ටාව, සිරිමල්වත්ත, සුහද පෙදෙසේ කුලී නිවසක පදිංචිව සිටි මවකට පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරයකු විසින් ඊයේ (10 වැනිදා) තියුණු ආයුධයකින් ඇන මරා දමා ඇයගේ දියණියටද එම ආයුධයෙන් ඇන බරපතළ තුවාල සිදුකොට ඇත. 
 
 ඊයේ අලුයම 3.00 ට පමණ මෙම අපරාධය සිදුකර ඇති අතර ඊට සම්බන්ධ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගැනීමට කොට්‌ටාව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. 
 
 මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ ශ්‍රියාණි කොඩිකාර නමැති 55 හැවිරිදි විවාහක කාන්තාවකි. 
 
 ඇයගේ 21 හැවිරිදි විවාහක දියණියද බරපතළ කැපුම් තුවාල සහිතව මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
 
 ඝාතනයට ලක්‌වූ කාන්තාව සහ ඇයගේ විවාහක දියණිය අදාළ නිවසේ උඩුමහලේ මාසික කුලී පදනම මත පදිංචිව සිට ඇත.
 
 ඝාතනයට ලක්‌වූ කාන්තාව ඇයගේ දියණිය සහ සිවු හැවිරිදි කුඩා දරුවාද සමග කාලයක සිට මෙම නිවසේ පදිංචිව සිට තිබේ. 
 
 තුවාල ලැබූ කාන්තාව මීට පෙර විවාහ වී ඇති අතර ඇයගේ නීත්‍යනුකූල සැමියා ඇය අතහැර ගොස්‌ ඇත. 
 
 පසුව ඇය සමඟ සැකකාර ඉංජිනේරුවා සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගෙන තිබේ. ඔහුද මෙම නිවසේ වාසය කර ඇත.
 
 දෙදෙනා අතර නිරන්තරයෙන් බහින් බස්‌වීම් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
 
 සිද්ධිය වූ ඊයේ අලුයම් කාලයේ දෙදෙනා අතර ආරවුලක්‌ හටගෙන තිබේ.
 
 එම ආරවුල ඇසුණු ඝාතනයට ලක්‌වූ කාන්තාව යාබද කාමරයේ සිට දියණිය සිටි කාමරයට පැමිණ ඇත. 
 
 එහිදී ඇය ආරවුල විසඳීමට මැදිහත්වූ අවස්‌ථාවේ සැකකරු පිහියක්‌ රැගෙනවිත් ඇයට සහ දියණියට ඇන ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
 
 සිද්ධිය වන අවස්‌ථාවේ සිව්හැවිරිදි දියණිය මිත්තනියගේ කාමරයේ නිදා සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
 මේ පිළිබඳව කොට්‌ටාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ලක්‌මාල්, පො.කො. වරුන් වන රොෂාන් (84855), ක්‍රිෂාන්ත (76495) ලක්‌මාල් (73034) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post