පන්සලේදී ගෙල වැලලා ගත්තා කියූ තරුණයාගේ දේහය වසර 4කට පසු ගොඩගැනේ

0 Aug 10, 2018 10.49am Gossip

මිනුවන්ගොඩ ගණිහිමුල්ල ශ්‍රී බෝධිරුක්‌ඛාරාම විහාරස්‌ථානයේදී 2014 වර්ෂයේදී ගෙල වැලලාගෙන මියගියේ යෑයි කියූ පුද්ගලයාගේ මෘත දේහය ගොඩ ගැනීම සඳහා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඉකුත් 08 වැනිදා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවසර ලබා දුන්නාය. ඊට අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්වීම ඔක්‌තෝබර් මස 31 වැනිදාට නියම කෙරිණි.

කලාවැව, වලවේගම ස්‌ථිර පදිංචිකරුවකුව සිටි එවකට අවුරුදු 20 ක්‌ වයසැති මනෝඡ් මධුෂාන් ආරියදාස යන අය 2014 වර්ෂයේ මාර්තු මස 09 වැනිදා බෝධිරුක්‌ඛාරාම විහාරස්‌ථානයේ ආවාස ගෙයි ගෙල වැලලාගෙන මියගොස්‌ තිබිණි. එම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‌ෂණයක්‌ සහ පශ්චාත් මරණ පරීක්‌ෂණයක්‌ පැවැත්වීමෙන් අනතුරුව ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමක්‌ බවට තීන්දු වීමෙන් පසු මියගිය අයගේ පියා වන කේ. ඩී. ජී. ආරියදාස යන අය මෘත දේහය භාරගෙන තිබිණි. එම මෘත දේහය කලාවැව, වලවේගම පැන්නුම පොදු සුසාන භූමියේ භූමදානය කර ඇති බවත් ගෙල වැලලාගෙන මියගියේ යෑයි කියන තම එකම පුතාගේ මරණය සැකසහිත බවට මරණකරුගේ පියා දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් පොලිස්‌පතිවරයාට පැමිණිලි කර ඇති බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති ඒ. එස්‌. කරුණාතිලක මහතා 08 වැනිදා මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. මනෝඡ් මධුෂාන් ආරියදාස යන අයගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති හෙයින් එම මෘත දේහය සැප්තැම්බර් මස 04 වැනිදාට වෛද්‍ය සභාවක්‌ ඉදිරියේ ගොඩ ගැනීමටත් වෛද්‍ය සභාවක්‌ මගින් පශ්චාත් මරණ පරීක්‌ෂණයක්‌ සිදු කරන ලෙසටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම නඩුවට අදාළව මියගිය අයගේ මෘත දේහය ගොඩ ගැනීම සහ ඊට අදාළ වන කටයුතු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගැනීම කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට පැවරීමට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරිය තීන්දු කළාය. මරණකරු මියගිය ස්‌ථානය පරීක්‌ෂා කිරීම මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා විසින් 08 වැනිදා මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පවත්වමින් සිදු කළේය.

ඔක්‌තෝබර් 31 දා නඩුව නැවත කැඳවීමට නියමිතය.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post