සොරකමින් බේරා දෙන්න කියලා එක මාලයක්‌ දෙවියන්ට පූජා කරලා

0 Aug 06, 2018 10.32am Gossip

මොරටුව ලක්‍ෂපතිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් නිවසක්‌ කොල්ලකා රුපියල් ලක්‍ෂ තිහකට අධික වටිනාකමක්‌ ඇති මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කර පලාගිය සැකකරුවන් දෙදෙනකු හා එම රන් භාණ්‌ඩ අලෙවි කිරීමට සහය දුන් පුද්ගලයකු ගල්කිස්‌ස කොට්‌ඨාස නොවිසිඳුන අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මාස 6 කට අධික කාලයක්‌ සිදුකළ විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගවට පත්ව ඇත්තේ කලකට පෙර එම ව්‍යාපාරිකයාගේ රියෑදුරුකුව සිටි අයකු හා එම සොරකමට සහය දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

පසුගිය ජනවාරි 12 වැනිදා තම නිවසේ සේප්පුවක ආරක්‍ෂිතව තබා තිබූ රුපියල් ලක්‍ෂ 16 ක මුදලක්‌ හා ලක්‍ෂ 15 ක පමණ වටිනා රන් භාණ්‌ඩ කිසියම් පිරිසක්‌ විසින් සේප්පුව කඩා රැගෙන ගොස්‌ ඇති බවත් නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ කොටස්‌ද ගලවාගෙන ගොස්‌ ඇති බවටත් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ගල්කිස්‌ස නොවිසිඳුනු අපරාධ කොට්‌ඨාස නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මෙසේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු බණ්‌ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අනෙක්‌ සැකකරු හා සොරාගත් රන් භාණ්‌ඩ අලෙවි කිරීමට සහය ලබාදුන් සැකකාර රියෑදුරුගේ ඥතියකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන මුදල් පොලියට ලබාදී තිබියදී හා ඔවුන් සන්තකයේ තිබියදී ලක්‍ෂ (නවය හමාරක්‌) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. සොරකම් කළ රන් භාණ්‌ඩ කීපයක්‌ උණුකර සාදවා තිබූ රන්මාල 6 ක්‌ සොයාගත් බවත් ඉන් එක්‌ රන් මාලයක්‌ තමන් සිදුකළ සොරකමින් බේරා ගන්නා ලෙසට මෝදර ප්‍රදේශයේ දේවාලයකට භාරයක්‌ ලෙස ඔප්පුකර තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post