දේපළ අයිති කරගන්න පොල්ලෙන් ගසා ගොළු සහෝදරයා මරලා - සැකකරු අත්අඩංගුවට

0 Aug 03, 2018 09.54am Gossip

පරම්පරාවෙන් වෙනත් අයකුට අයිති වීමට තිබූ මහ ගෙදර තමා සතු කර ගැනීමේ අරමුණින් ගොළු සොහොයුරාගේ හිසට පොල්ලකින් ගසා මැරූ බවට සැක පුද්ගලයකු කළුතර කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පසුගිය 01 වැනිදා බදුරලිය පොලිස්‌ වසමේ මොරපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර දකුණ පොලිස්‌ වසමේ විජිත මාවතේ පදිංචි අගම්පොඩි රුවන් කුමාර නමැති 29 හැවිරිදි අයගේ මරණය පිළිබඳව සැකපිට ඔහුගේ වැඩිමහලු සොහොයුරා වන 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

දසමස්‌ හැවිරිදි බිළිඳියකගේ පියකු වන මියගිය පුද්ගලයා ගොළු අයකු වන අතර ඔහු තම පවුලේ මහ ගෙදර බිරිඳ සහ බිළිඳු දියණිය සමග ජීවත් වී ඇත. ඔහු ස්‌ථිර රැකියාවක්‌ නොමැති අයෙකි.

පසුගිය සතියේ දිනක ඔහුගේ හිසට පොල්ලකින් පහරදීම නිසා මරණයට පත්වී ඇති අතර ඔහුගේ මරණයට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, කළුතර සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ අනුව කළුතර කොට්‌ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද පරීක්‌ෂණයේදී මියගිය අය මරණය සිදු වූ අවස්‌ථාවේ ඇඳ සිටි ඇඳුම් සැකකාර සොහොයුරා සිටි පිළියන්දල ප්‍රදේශයේ වාඩියක තිබී හමුවී ඇත.

ඒ ඔස්‌සේ කරන ලද පරීක්‌ෂණයේදී පසුගිය 01 වැනිදා බදුරලිය පොලිස්‌ වසමේ මොරපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මරණය දේපළ සම්බන්ධව සිදු වූවක්‌ බවට පොලිසිය සැක කරයි. එම පවුලේ තවත් වැඩිමහල් සොහොයුරකු මීට කලකට පෙර සිට ආගිය අතක්‌ නොමැති බවද පොලිස්‌ පරීක්‌ෂණයේදී හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දකුණු කළුතර පොලිසියට භාරදීමට නියමිතය. කළුතර කොට්‌ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක තිලංග සංජීව, පොලිස්‌ සැරයන් (27118) සමන්, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (37109) රත්නායක, (44817) ගුණවර්ධන, (49251) සරත්, (52817) රොෂාන්, (4298) කුමාරසිරි, පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු (80776) කරුණාරත්න යන නිලධාරීහු මෙම පරික්‌ෂණ සිදු කළහ.

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post