මාරවිලදී වෑන් රථයේ හැපුණු මුවා මරුට

0 Jul 28, 2018 10.22am Gossip

නාත්තන්ඩිය සිට මාරවිල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයකට ඊයේ (27දා) අලුයම 2.00 ට පමණ පාර හරහා පැන්න මුවෙකු හැපීමෙන් මුවා මරණයට පත්ව වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ. 
 
 මාරවිල පොලිසියට නුදුරින් දෙපස නිවාස සහිත ප්‍රදේශයකදී මෙම මුවා පාර හරහා පැනීම විමතියට කරුණක්‌ වී තිබේ. 
 
 අවට කැලෑබද පරිසරයක්‌ද නොමැති හෙයින් අංතට්‌ටුවක්‌ද සහිත හැඩි දැඩි මුවෙකු මෙම ප්‍රදේශයෙන් මතු වීම ගැටලුවක්‌ බව ප්‍රදේශවාසීහු පවසති. කිසිවකු විසින් ඇති දැඩි කළ මුවෙකු පැන එන්නට ඇති බවද ඇතැමුන් අදහස්‌ පළ කරති.
 
 මුවා ගැටෙන අවස්‌ථාවේ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙක්‌ වාහනය තුළ සිට ඇති අතර ඔවුන්ට අනතුරක්‌ වී නොතිබිණි. ධාවනය කළ නොහැකි අයුරින් වාහනය හානි වී තිබූ හෙයින් එය ඇදගෙන යැමට සිදුව තිබිණි. 
 
 වාහනයේ ගැටීමෙන් පසුව අසල පිහිටි නිවසක ගේට්‌ටුවක්‌ අසලට ඇදුණු මුවා විනාඩි ගණනකදී මියගොස්‌ තිබිණි.
 
 මාරවිල පොලිසියේ නිලධාරීන් පැමිණ ස්‌ථානීය පරීක්‌ෂණයක්‌ සිදු කර මියගිය මුවා මාරවිල පොලිසියට ගෙන ගොස්‌ තිබිණි.
 
 මෙය සාමාන්‍ය අනතුරක්‌ බව පවසන පොලිසිය සිද්ධිය පුත්තලම වනජීවී කාර්යාලයට දැන්වීමට ඊයේ (27දා) අලුයම කටයුතු කර තිබේ. 

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post