ආබාධිත සිසුවකුට ජනපතිගෙන් නවීන රෝද පුටුවක්

0 Jun 12, 2018 10.18am Gossip

ගල්කිස්ස දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ 40වන සැමරුම සහ ත්‍යාග ප්‍රධානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනත්වයෙන් ඊයේ (11) පැවැත්විණි. එහිදී එම විද්‍යාලයේ ආබාධිත දරුවකුගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට විදුලියෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

විද්‍යාලය වෙත සපැමිණි ජනාධිපතිවරයාව පාසලේ දරුවන් සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල සහ සුහුරු ක්‍රියාකාරකම් පන්තිකාමරය ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කෙරිණි.

අනතුරුව පාසලේ සමරු සටහන් පොතේ සටහන් තැබු ජනාධිපතිවරයා අනතුරුව නා පැළයක් රෝපණය කළේය.

ඉන් අනතුරුව පාසල් දරුවන්, ආදි සිසුන්, ආචාර්ය මණ්ඩලය වෙත සම්මාන තිළිණ ප්‍රධානයට එක්විය. එම අවස්ථාවේ සම්මාන තිළිණයක් ලබා ගැනීමට පැමිණි එම පාසලේ ඒ සාමාර්ථ තුනක් හිමි කරගෙන වාණිජ අංශයෙන් සරසවි වරම් ලැබූ දෙවින් ඉදුසර රත්නායක සිසුවා සමඟ කතාබස් කිරීමට ද ජනාධිපතිවරයා අමතක නොකළේය.

එම දරුවාගෙන් අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳව විමසීමේ දී තමාට කටයුතු පහසු කර ගැනීමට දැන් ඇති රෝද පුටුවට වඩා විදුලියෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාදෙන්නේ නම් පහසුවක් වනු ඇති බව පැවසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ මොහෝතේම එම දරුවා‍ට විදුලියෙන් ක්‍රියාකරන නවීන රෝද පුටුවක් සහ අධ්‍යාපනයට උපකාර කිරීමට අවශ්‍ය දෑ ලබාදීමට පොරොන්දු විය.

පාසලේ හතළිස් වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කෙරුණු 'විද්‍යාභිමාන' සමරු කලාපය ද විදුහල්පති ඩබ්ලිව්. සුසන්ත මෙන්ඩිස් මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

රාජ්‍යනායකයකු පළමුවරට මෙම විදුහලට පැමිණීම සිහිපත් කරමින් සමරු තිළිණයක් ද විදුහල්පතිවරයා ජනාධිපතිතුමන්ට පිරිනැමීය. පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති අචාර්ය මාඉටිපේ විමලසාර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංස, උසස් අධ්‍යාපන හා සංස්කාතික කටයුතු රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, මුදල් රාජ්‍ය‍ ඇමැති ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, යන මහත්ම මහත්මීන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන්, අධ්‍යපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අධ්‍යපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්, දෙමාපියන් දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post