නවකවදය පිටුදකින්න පොදු වැඩපිළිවෙළකට කඩිනමින් යා යුතුයි

0 Jun 11, 2018 12.09pm Gossip

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිවයුතු සියලු පාර්ශ්වයන් එක් වූ පොදු වැඩපිළිවෙළකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට පසුගිය 08 දා එක්වෙමිනි.

සදාචාරවත් නොවූ අමානුෂික නවකවදය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ මෙරට විශ්වවිද්‍යාල සිසුන්ට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණදීමට සිදුවූ බවත් හෙට දවසේ රට භාරගැනීමට සිටින දරු පරපුරට එල්ල වී ඇති මෙම අභියෝගයට කඩිනම් විසඳුම් ලබාදීම අවශ්‍ය බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

මේ ම්ලේච්ඡ ක්‍රියාවන් පිටුපස ඇතැම් බලලෝභි දේශපාලන සංවිධාන ද ක්‍රියාත්මක වන අතර දැයේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන මෙම ශිෂ්‍ය ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන් වගකීමි ඉටුකළයුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ජංගම දුරකථන සහ පරිගණක හරහා සිදුවන අපරාධ පිළිබඳ ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මේ අහිතකර තත්ත්වය පිළිබඳ රජයේ පුළුල් අවධානය යොමුව තිබෙන බවයි.

දරුවන්ගේ විභාග ප්‍රතිඵල පිළිබඳ සතුටු වනවා සේම යහපත් සමාජයක් තුළ තාක්ෂණය නිවැරදිව භාවිතා කරන සහ සමාජ වගකීම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන විභාග මෙන්ම ජීවිත ද සමත්වූ මතු පරපුරක් රටට දායාද කිරීමට සියලුදෙනා තම වගකීම් ඉටකළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මිණි විද්‍යානි ලියනගේ දැරියගේ ආරාධනාව පරිදි (08දා) එම විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබිණි.

විද්‍යාල පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකයට ද පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දෙනු ලැබීය. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි. ශිෂ්‍ය භට වාර්ෂික ඇගයීම් කඳවුරේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත් විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම වෙත සහතික පත් ප්‍රදානය කිරීම සහ 2018 සමස්ත ලංකා නැටුම් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post