සිංගප්පූරු ගිවිසුම කඩාකප්පල් කරන්න හදනවා

0 Jun 07, 2018 09.54am Gossip

පසුගිය පාලනය සමයේ ෆෝට් සිටි ව්‍යාපෘතිය චීනයට සින්නක්කරව ලබාදෙන විටත් හිතු මනාපෙට ෂැංග්‍රිලා හා හම්බන්තොට ව්‍යාපෘතින් පටන් ගන්නා‍ විටත් කිසිත් නොකියූ කණ්ඩායම් අද රටේ ආරක්ෂාව තහවුරු කරන පනත් සම්මත කැර නිසි නීති සකසා ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අත්සන් කරන ශ්‍රී ලංකා සිංගප්පූරු ආර්ථික වෙළෙද ගිවිසුම කඩා කප්පල් කිරිමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කෙළේය.

රටට යහපතක් වන කටයුතු වලදි විවිධ විරෝධතාවන් දක්වන මේ පිරිස්

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී විවිධ ව්‍යාපෘති වල සේවය කිරිම සඳහා චින ජාතිකයින් මෙරටට පැමිණෙන විට කිසිත් නොකි අතර , මේ පුද්ගයින්ගේ බැංකු ගිණුම් ඇත්තේ ඩුබායි, ෂිසෙල්ස් ,හොංකොං,වැනි රටවල බැංකු වල වුවත් අපගේ මුදල් ඇත්තේ මෙරට බැංකු ගිණුම් වල බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චිනයේ කම්කරුවන් පමණක් නොව බංග්ලාදේශ කම්කරුවන් පවා මෙරටට පැමිණියේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ බව පැවසූ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ රජය යටතේ මහා පරිමාණ ව්‍යාපෘති වන මහවැලි ව්‍යාපෘතිය, මහා පරිමාණ වැව්, වෙළෙඳ කළාප ආදිය සිදුකළද විදෙස් කම්කරුවන් මෙරටට ‍නොපැමිණි බවත් අවධාරණය කළේය.

පළපුරුදු විදෙස් ඉංජි‍නේරුවන් , වෘත්තිකයින් මෙරටට පැමිණ සේවා සපයා නැවත තම රටට යනවාට තමන් විරුද්ධ නොමැති බවත් පැවසූ අගමැතිවරයා විදෙස් කම්කරුවන් මෙරටට ගෙන ඒම ආරම්භ කළේ පසුගිය පාලන සමයේදී බවත් කීය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සියලු අංශ සමඟ සාකච්ඡා කර ගෙන එන ගිවිසුමක් බවත් ප්‍රශ්න ඇත්නම් සාකච්ඡා කර විසඳාගත හැකි බවත් පසුගිය පාලන සමයේදි සිදුකළ සියලු දේවල් දෙස මුණිවත රකිමින් බලා සිටි බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන්ට ගෝටාභය රාජපක්ෂ පාලන සමයේදි මෙලෙස කතා කළොත් ඇමති ධුරයක්වත් නොලැබේවි යැයිද අගමැතිවරයා කිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

ෂැංග්‍රිලා එකේදී විපත් මඟ ප්‍රතිපත්තිය එළිදැක්වූවා.විපත් මගේදි ප්‍රතිපත්තිය ගැන කිව්වා.ඔහොම කතා කළොත් ගෝටාගෙන් ඇමැති කමක්වත් ලැබෙන එකක් නැහැ.

රජය විසින් සෑම විටම වෙනත් රටවල් සමග වෙළෙඳ ගිවිසුම් වලට එළඹෙනු ලබන්නේ රටේ ආර්ථික සංවර්ධන හා ජනතාවගේ සුරක්ෂිතභාවය ඉලක්ක කොට ගෙනයි. ගෝලීයකරණය වන සමාජ රටාව තුල අද ලෝකයේ මෙම නිදහස් වෙළඳ ගිවිසුම් හා වෙනත් ගිවිසුම් ඉතා සුලභ කාරණයක් බවට පත්ව තිබෙනවාශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සකසා ඇත්සින්තේ සියලු පාර්ශවකරුවන් සමග ඉතා පුළුල් සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව සියලු පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙසත් සියලු පාර්ශවයන්ට වාසි සැලසෙන ලෙසත් බව මම කියන්න කැමතියි. මෙම ගිවිසුම මගින් කිසිදු අහිතකර බලපෑමක් ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැහැ.

2018 මාර්තු 07 දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත (Anti-Dumping and Countervailing Duties Act) මගින්ද, මැතකදී ඇමැතිමණ්ඩලය මගින් අනුමත කරන ලද ආගමන හා විගමන පනත යටතේ වන රෙගුලාසි මගින්ද මෙම තත්ත්වය වඩාත් තහවුරු වී තිබෙනවා. විදේශිකයින් හට රැකියා ලබාදීමේ ක්‍රමවේදය, රැකියා ලබාදීමේ අංශ, සේව්‍ය සේවක වගකීම් මෙන්ම වෘත්තීය සංගම්වල කාර්යභාරය මෙම රෙගුලාසිවලින් අවරණය වෙනවා.එසේම, මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෝක වෙළෙඳ සංවිධානයේ මුලධර්ම වලට සම්පූර්ණයෙන්ම අනුකූලවන ආකාරයට සකසා තිබෙන බවත් මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

එසේම මෙම නිදහස් වෙළඳ ගිවිසුම සැකසීමේදී කිසිදු ආකාරයකින් ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය නොමග යැවීමක් සිදුවී නැහැ.එම ගිවිසුම සම්බන්ධ අන්තර් කාලීන වාර්තාව 2017 අගෝස්තු මාසයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර මෙම නිදහස් වෙළඳ ගිවිසු‍මේ පළමු කෙටුම්පත 2017 දෙසැම්බර් මාසයේදී ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ජනාධිපතිතුමා විසින් හා ඇමැතිවරුන් 14 දෙනෙකු විසින් මෙම කෙටුම්පත සම්බන්ධව නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබූ අතර එම සියලුම නිරීක්ෂණ සලකා බලන ලෙස ඇමැති මණ්ඩලය විසින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධිත කෙටුම්පත 2018 ජනවාරි 16 දින අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. ඒ අනුව 2018 ජනවාරි 23 දින ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව මෙම නිදහස් වෙළඳ ගිවිසුමට ඇතුලත් වුනා.

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙම නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට කිසිදු නියෝගයක් කොට නැහැ. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත නියෝග දීමට බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙතයි. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් විසින් සිදු කර ඇත්තේ නිදහස් වෙළඳ ගිවිසුමට අදාළව සිංගප්පූරු රේගුවෙන් ලද තොරතුරු කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට දන්වා යැවීමයි.

මෙම ගිවිසුම සැකසීම සම්බන්ධ සාකච්ඡාවට ආරම්භ වූයේ 2016 ජුනි මාසයේදීයි. මෙම කාලය තුළ සාකච්ඡා වට 20 අධික සංඛ්‍යාවක් පවත්වා ඇති අතර මෙම සාකච්ඡා සඳහා වෙළෙඳ සංගම්, වාණිජ මණ්ඩල, වෘත්තීය සංගම් ඇතුලු සියලු පාර්ශවකරුවන් සහභාගී වී තිබෙනවා. මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් අනතුරුවද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සංගම් රජය වෙත විවිධ කරුණු වාර්තාකර තිබෙනවා, ඔවුන් සමග ජනාධිපතිතුමා මෙන්ම මමද සාකච්ඡා කලා. මෙම ගිවිසුම ක්‍රියාත්මක වී වසරකින් අනතුරුව මෙහි වැරදි අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කොට ගිවිසුමට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට හැකියාව මෙම ගිවිසුම මගින්ම සලසා තිබෙනවා.

ඒ නිසා මෙම ගිවිසුම අවලංගු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. සිංගප්පූරුව සමග අත්සන් කරන ලද මෙම වෙළෙඳ ගිවිසුම මගින් අපිට අනෙකුත් රටවල් සමගද නිදහස් වෙළ‍ෙඳ ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙනවා. එසේම, අප රටේ ජාත්‍යන්තර වෙළෙඳාමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කර ගැනීමට මෙම ගිවිසුම මගින් ඉතා ශක්තිමත් පදනමක් සපයන බව මගේ හැගීමයි.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post