දශක ගණනාවකට පසු රාජ්‍ය මූල්‍ය අතිරික්තය රුපියල් බිලියන 22ක්

0 Jan 16, 2018 09.38am Gossip

දශක ගණනාවකට පසු රාජ්‍ය මූල්‍යයේ අතිරික්තයක් ගොඩනැ‍ඟී ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශේෂය දශක ගනණාවකට පසු අතිරික්තයක් ඇතිකර ගෙන තිබෙන අතර, විශේෂයෙන්ම පළමුවැනි මාස දහය ගත් කළ මේ ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 22ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයකින් අතිරික්තයක් වාර්තා වී ඇති බව ද රණවක මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

මොකක්ද මේ ප්‍රාථමික ශේෂය කියන්නේ? එහෙම නැත්නම් ප්‍රයිමරි බැලන්ස් කියලා කියන්නේ? මෙතන දී, ආණ්ඩුවේ ආදායමින් ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් ඒකියන්නේ පඩි-නඩි, විශාම වැටුප් ඒ වගේම තවදුරටත් ගත්තොත් සුබසාධන වියදම් සමෘද්ධිය පොහොර සහනාධාරය වැනි වියදම් සහ ප්‍රාග්ධන වියදම්. විශේෂයෙන්ම මහාමාර්ග ක්‍ෂේත්‍රයේ එහෙම නැත්නම් නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ, ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ මේ හැම ක්‍ෂේත්‍රයකම ප්‍රාග්ධන වියදම්, කියන මේ වියදම් ප්‍රමාණය ආණ්ඩුවේ ආදායම්වලින් අඩුකළාම ඒකට අපි කියනවා ප්‍රාථමික ශේෂය කියලා.

මෙතන දී ගණන් නොගන්නේ පැරණි ණයවල පොලී ගෙවීම පමණයි. පැරණි ණයවල පොලී ගෙවනවා කියන්නේ පරණ ආණ්ඩුවලට අයිති දෙයක්. අලූත් ආණ්ඩුවේ ක්‍රියාවලිය විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් ආණ්ඩුවේ ආදායමින් අඩු කිරීමෙන් තමයි ප්‍රාථමික ශේෂය ඇතිවන්නේ. ඉතිං ඒ ප්‍රාථමික ශේෂය දශක ගණනාවකට පසු 2017 දී අතිරික්තයක් වාර්තා කර ඇති බව ප්‍රකාශ කර තියෙනවා. එය ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍යයේ ශක්තිමත්භාවයට වැදගත් අංග ලක්‍ෂණයක්. මොනවද ඒ ඉලක්කම්. 2017 මුදල් අමාත්‍යාංශ තොරතුරුවලට අනුව ආණ්ඩුවේ මුලූ ආදායම බිලියන 1473 දක්වා ඉහල නැග තිබෙනවා. ආසන්නයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ක පමණ ප්‍රමාණයකට ඇද වැටී තිබුණු ආණ්ඩුවේ ආදායම ආසන්නයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක තරම් දක්වා වූ වර්ධනයක් පෙන්නන්න පසුගිය අවුරුදු තුනක කාලය තුළ ආණ්ඩුවට හැකි වී ඇත.

මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. ඒ වගේම ආණ්ඩුවේ පුනරාවර්තන වියදම බිලියන 964ක්. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම බිලියන 487ක්. එවිට ආණ්ඩුවේ පුනරාවර්තන වියදමයි, ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදමයි එකතු වූ විට බිලියන 1451 ක්.

ණය පොලී හැරුණු කොට ආණ්ඩුවේ මුලූ වියදම බිලියන 1451ක් වේද් දී ආණ්ඩුවේ මුලූ ආදයම බිලියන 1473ක් වී තිබෙනවා. ඒනිසා පළමු මාස දහයට බිලියන 22ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. ඇතැම්විට අවසාන මාස දෙකත් ගත්කළ එම ප්‍රමාණය මීටත් වඩා අඩුවෙන්නත් පුලූවන්.

කෙසේ නමුත් මේ විශාල ජයග්‍රහණයත් අතීතයත් එක්ක සළකලා බලන කොට ආණ්ඩුවේ ප්‍රාථමික ශේෂය ධන අගයක් ගැනීම අතිරික්තයක් පෙන්වීම විශේෂිතයි. ආර්ථිකය කඩා වැටිලාය, ආණ්ඩුවේ මූල්‍යය කඩා වැටිලාය කියන බොරු ආරංචි පතුරුවන සියලූ දෙනාටම එල්ල කරපු අතුල් පහරක් ඒ වගේම මේ රටේ ජනතාවට සතුටු විය හැකි ප්‍රවෘත්තියක් රාජ්‍යයට, ආණ්ඩු මූල්‍යයට සතුටු විය හැකි ප්‍රවෘත්තියක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ.

මේ තත්ත්වය අපි සංසන්දනය කරන්න ඕනේ අතීතයත් එක්ක. ප්‍රාථමික ශේෂයේ තත්ත්වය ගත්කළ 2012 දී බිලියන 81ක් හිඟයි. 2013 දී බිලියන 72ක් හිඟයි. 2014 දී බිලියන 155ක් හිඟයි. 2015 දී බිලියන 302ක් හිඟයි. ඒකට ප්‍රධානම හේතුව වුණේ ජනාධිපතිවරණය දිනාගැනීමට රාජපක්‍ෂවරු කරපු ඉතාමත්ම නින්දිත, නාස්තිකාර වියදම් පද්ධතිය.

මේ බිලියන 302ක තිබුණු 2015 ප්‍රාථමික ශේෂය මේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය නිසා 2016 දී බිලියන 29 දක්වා අඩුකර ගන්න රජයට හැකිවුණා. ඉතිං දැන් 2017 දී මෙච්චර කාලයක් ඍණ අංගයක තිබුණු ප්‍රාථමික ශේෂය බිලියන සිය ගණනක අඩුවක්ව තිබුණු ප්‍රාථමික ශේෂය ධන අගයක් කරා ගමන් කරලා තියෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම මේ ගැන බැලූවොත් අපට පේනවා නිදහසෙන් පස්සෙ අපේ රටේ ප්‍රාථමික ශේෂයක් ධන වුණු අවස්ථා, ආණ්ඩුවේ ආදායම් වියදම් අඩු කළාට පසු අතිරික්තකයක් ඇතිවුණු අවස්ථා තියෙන්නේ කීපයක් පමණයි. විශේෂයෙන්ම 1954-56 වකවාණුවල අය-වැය අතිරික්තයක් පැවතුණා. ප්‍රාථමික ශේෂය රුපියල් මිලියන 56ක් හා රුපියල් මිලියන 151ක් ලෙස අපිට හඳුනාගන්න පුලූවන්. ඇත්තටම ඒ කාළේ අපේ රටේ ණය පොලී ගෙවීම ඉතාම අවම ප්‍රමාණයක තිබුණේ. මොකද 1950 දී අපේ රටේ ණය බර තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආසන්නයෙන් 17%ක ප්‍රමාණයක. අද ඒක 80% දක්වා ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදුවල 100% ඉක්මවා ගිය අවස්ථාත් අපි දැක්කා. ඒ වගේම නැවත මේ ප්‍රාථමික ශේෂය ඉතාම අවම වුණු අවුරුද්දක් තමයි 1992. ඊට පස්සේ දිගටම සිද්ධවුණේ මොකක්ද මේ ප්‍රාථමික ශේෂය පුළුල් වෙමින් භයානක මූල්‍ය අගාධයකට ආණ්ඩුව ගමන්කිරීමයි. මේ මූල්‍ය අගාධයක අභියස ඉඳගෙන තමයි 2015 දී මේ ආණ්ඩුවට මේ බලය ලැබුණේ.

ඒ අනුව මේ මූල්‍ය ආගාධයෙන් ගොඩ ඒමේ පළමුවැනි පියවර හැටියට මේ ආණ්ඩුවේ ආදායම් වියදම්වල අතිරික්තයක් පෙන්වීමට හැකිවීම 2017 දී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ වගේම අය-වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට සීමාකරගන්නට ලැබීමත් වැදගත් ජයග්‍රහණයක්, මොකද, මේක ඇතැම් අවස්ථාවල මෙය 10%, 15% දක්වා පළල් වුණු අවස්ථා අපිට අතීතයේ දැකගන්න පුලූවන්. ආර්ථික කළමණාකරයට වැදගත්ම කරුණු 3ක් තියෙනවා. එකක් තමයි අපේ රටේ උද්ධමන අනුපාතය. ඒක බඩු මිලට බලපාන දෙයක්. ඊළඟ එක පොලී අනුපාතය. ඒක ආයොජනයට බලපාන දෙයක්. ඊළඟට රුපියල ඩොලරයට දක්වන අනුපාතය ඒක විදේශ වෙළෙඳාමට බලපාන දෙයක්. ඒ මූලික සංගුණක තුණ අතරට ඉතාම වැදගත් වන අනිත් කාරණය තමයි රාජ්‍යය මූල්‍යය පැත්තෙන් ගත්කළ ආණ්ඩුවේ අය-වැය හිඟයත් ප්‍රාථමික ශේෂය ධන ද ඍණ ද යන කාරණය. දැන් අපි එක ජයග්‍රහණයක් ළඟාකර ගෙන තියෙනවා. ඊලඟ ජයග්‍රහණය කෙසේ හෝ අය-වැය පරතරය 4%ට අඩු ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනයෙන් ගෙන ඒමයි. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය ඉදිරියේ ඒවාට කරන්න තියෙන ප්‍රාග්ධන වියදම් ඉදිරියේ රටේ සංවර්ධනයට මේක විශාල අභියෝගයක්. මේ විශාල අභියෝගය හා මූල්‍ය විනය ඇතිකර ගැනීම ගැන අපි රජයට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ඇතුලූ පිරිස්වලට අපේ ස්තූතිය පිරිනමන්න ඕනෙ. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ඉදිරියේ දී මේ ණය කළමනාකරණය කිරීම සඳහා විශේෂ ඒකකයක් රටට අවශ්‍ය කරලා තියෙනවා ණය කළමනාකරණය කරන්න. ඒ වගේම එම යෝජනාව මම 2016 දී ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ පනතක් ආණ්ඩුව ගෙන එන්න ලෑස්තිවෙලා තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ ණය කළමනාකරණය කරන විශේෂ ඒකකයත් සමඟ ඉදිරිකාලයේ දී ආයෝජන සිදුකළ යුත්තේ ආණ්ඩුවට රටට ආයෝජනයක් ලැබෙන ආදායම් ලැබෙන ක්‍ෂේත්‍රවල පමණක්ය කියන එකත් අවධාරණය කරමින් මේ මූල්‍ය ජයග්‍රහණය අපි සියලූ දෙනාම ඉදිරියට ගෙන යා යුතු දෙයක් බව අවධාරණය කරනවා.යැයි පැවැසීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post