ටැම්පිටියේ හිමිට ඇප

0 Aug 09, 2017 09.25am Gossip

සයිටම් වි‍රෝධී පාගමනින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලට  රුපියල් නවලක්ෂයකට අධික අලාභයක් සිදුකළ බවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ අන්තර් විශ්වවිද්යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි රුපියල් දස දහසක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනකුගේ ඇප මත මුදාහැරීමට ඊයේ (08) නියෝග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්යතිලක මහතා හිමියන්හට තරයේ අවවාද කරමින් ඇප කොන්දේසි ද පැනවීය.

උපසම්පදා භික්ෂූන්වහන්සේ නමක් හෙයින් හිමියන්හට වස්විසීමට සිදුවීම යන කරුණු සළකා නීතිපතිවරයා ඇප දීම සම්බන්ධව විරුද්ධ නොවීම යන කරුණ සළකා බැලූ විනිසුරුවරයා හිමියන් එසේ ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

නියෝගයේ පිටපතක් වහා ෆැක්ස් මඟින් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණ රෙජිස්ටාර්වරයා වෙත යොමු කිරීමට කොළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරියට ඊයේ (08) නියෝග කළ විනිසුරුවරයා හිමියන් ඊයේ දිනම මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියේය.

වස් කාලය අවසන්වූ පසු දෙසැම්බර් මස සිට සෑම මසකම අවසන් ඉරිදා උදේ 9 – 12 අතර මරදාන පොලිසිය වෙත වාර්තා කිරීමට ද විනිසුරුවරයා හිමියන්ට ඇප කොන්දේසි පනවමින් නියෝග කළේය.

ප්‍රශ්නයක් ඇත්නම් පොදු දේපළවලට හානි නොකර මහජනතාවට හා සමාජයට හිරිහැරයක් නොවන අයුරින් නීතියේ රාමුව තුළින් ඒවා විසඳා ගැනීමට පියවර ගන්නා ලෙසට හිමියන් හට අවවාද කර සිටි ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්යතිලක මහතා මෙවැනි වැරැදි ඉදිරියට සිදුවුවහොත් මෙම සහනය අධිකරණයෙන් නොලැබෙන බවට ද සඳහන් කර සිටියේය.

සිද්ධියේදී තුවාල ලබා රෝහල්ගතව සිටි හිමියන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජූනි මස 22 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බවත් කැලණිය විශ්වවිද්යාලයේ අවසන් වසර විභාගය සඳහා පෙනී සිට ඇති මෙම හිමියන් නිබන්ධනය ලබාදීමෙන් පසු විශ්වවිද්යාලයෙන් පිටවීමට සූදානම්ව සිටින බවත් හිමියන්ගේ එම අධ්යාපන කටයුතු සැලකිල්ලට ගෙන සුදුසු ඇපයක් මත උන්වහන්සේ මුදාහරින ලෙසට නීතිඥ ගාමිණී අල්විස් මහතා ඉල්ලා සිටියේය.

පසුගිය සිකුරාදා මෙම ඇප අයදුම්පත කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා කළ නියෝගය මත ටැම්පිටියේ සුගතානන්ද හිමි බන්ධනාගාරය මතින් ඊයේ (08) අධිකරණය වෙතට ඉදිරිපත් කර තිබුණි.

සෞඛ්ය අමාත්යාංශය තුළ ඇතිවූ කළහකාරී තත්ත්වය කැමරා දර්ශන මතින් එකිනෙක නිරීක්ෂණය කිරීමෙන් පසු පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් හිමියන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවසූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා සැමට නීතිය එකහා සමාන බවත් එම නීතිරාමුව තුළ විනයානුකූලව හැසිරිය යුතු බවටත් අවධාරණය කළේය.

චීවරයට ගෞරව කරමින් වස් කාලය තුළ වස් විසීමට අවශ්ය බවට දැන්වූ කරුණු සලකා නීතිපතිවරයා හිමියන්හට ඇප දීමට විරුද්ධ නොවන බව ද ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලටගත් විනිසුරුවරයා හිමියන්හට කොන්දේසි සහිතව එසේ ඇප නියම කරන ලදී.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post