අභියෝගවලට නොබියව රජයේ ගමන ඉදිරියටම ගෙන යනවා

0 Jul 10, 2017 09.32am Gossip

පොලිසැක් කර්මාන්ත ශාලාව විවෘත කරමින් ජනපති කියයි

අභියෝග සහ විවේචන භාරගත නොහැකිනම් තමා 2014 නොවැම්බර් මස, පැවැති රජයෙන් එළියට නොබසින බව පවසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ද අභියෝග සහ විවේචනවලට නොබියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියටම ගෙන යන බව අවධාරණය කළේය. එදා මහත්මා ගාන්ධිතුමන් කෙතරම් නින්දා, අපහාසවලට ලක්වූව ද අද එතුමාට මුළු ලෝකයම ගරු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි. සහල් ඇසුරුම් කවර නිෂ්පාදනය කිරීම සඳහා පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ඉදිකරන ලද පොලිසැක් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (9) පස්වරුවේ විවෘත කෙරිණි.

නිව් රත්න සහල් පුද්ගලික සමාගමේ නවතම කර්මාන්ත ශාලාව ලෙස විවෘත කෙරුණු මෙම කර්මාන්ත ශාලාව මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 350කට ඝෘජු රැකියා සහ තවත් 500 කට පමණ වක්‍ර රැකියා අවස්ථා උදා කෙරේ.

සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. අනතුරුව රත්න පොලිසැක් ආයතනයට අනුබද්ධ අඹ වගා ව්‍යපෘතිය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා නිව් රත්න සමාගමට අයත් සහල් සැකසුම් මධ්‍යස්ථාන ද නිරික්ෂණය කරනු ලැබීය.

මෙම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉතා දුෂ්කර ජීවිත ගතකරන සිංහපුර ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමට මෙම නව කර්මාන්ත ශාලාව ඉවහල්වනු ඇති බවයි.

ජාතික ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ශක්තිමත් කෙරෙන මෙවන් කර්මාන්තශාලා විවිධ අංශවලින් රට තුළ බිහිවිය යුතු බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ධෛර්ය මෙන්ම ශක්තිය ලබාදීමට රජය සූදානම් බව ද කියා සිටියේය.

මෙරට දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් පොලිසැක් නිෂ්පාදන මෙරටට ගෙන්වීම වහා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය රජයන් කළහැකි වුවද පොළොන්නරුව වෙනුවෙන් නොකළ වැඩකොටස අද වත්මන් රජය විසින් ඉටුකරමින් සිටින අතර ඉදිරියේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය ද ශ්‍රී ලංකාවේ සංවර්ධිත දිස්ත්‍රික්ක අතරට එක්වනු ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post