ඩෙංගු ප්‍රතිකාරවලට ජාතික රෝහලට නව වාට්ටුවක්

0 Jul 10, 2017 09.31am Gossip

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූ ඇඳන් 40 කින් යුක්ත නවතම වාට්ටුවක් කොළඹ ජාතික රෝහලේ දී අද (10) විවෘත කරන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තාවකාලිකව ස්ථාපිත කරන මේ වාට්ටුවත් සමඟ රෝහලේ කායික වෛද්‍ය වාට්ටු සතු වන ඇඳන් සංඛ්‍යාව 950ක් දක්වා වැඩි වන්නේ යැයි ද ඒ මහතා පැවැසුවේය.දිනකට උණ රෝගීන් 150ක් පමණ රෝහලට ඇතුළත් වන බවත් මේ වන විට ඩෙංගු උණ රෝගීන් 380ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා පැවැසුවේය.

නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු උණ රෝගීන් 380න් 80ක් අවදානම් තත්ත්වයේ පසුවන්නන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් රෝහල තුළ වැඩිදියුණු කරමින් පවතින බවත් ඕනෑම උණ රෝගියකුට රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගත හැකි බව ද වෛද්‍ය ජාසිංහ මහතා කීය.

අයි.ඩී.එච්. රෝහල, කළුබෝවිල රෝහල යනාදි රෝහල් උණ රෝගීන්ගෙන් මේ වන විට පිරී ගොස් ඇති අතර කොළඹ අවට රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ජාතික රෝහලට ඇතුළත් විය හැකි බව ද ඒ මහතා අවධාරණය කරයි.

වෙනත් රෝහල්වල පවතින තදබදය අඩු කිරීම සඳහා ජාතික රෝහලේ වාට්ටු පහසුකම් වැඩිදියුණු කර ඇති අතර රෝහලේ වෛද්‍ය වාට්ටු 15ක ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙනම ඇඳන් දමා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

රට පුරා ඩෙංගු රෝගීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සහ මරණ 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් සියයට 40කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post