විද්‍යා ඝාතන නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්කි විමසා අවසන්

0 Jul 07, 2017 09.01am Gossip

සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ නඩු විභාගයේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂි සියල්ලම පෙරේදා (5) වන විට විමසා අවසන් කර තිබේ. විමර්ශන සාක්ෂි සහ අන්‍යස්ථානිකභාවය පිළිබඳ සාක්ෂි විමසීම මේ 18, 19, 20 දිනවල දී සිදුවෙන අතර 24 දා සිට විත්තියේ සාක්ෂි ආරම්භ වීමට නියමිතය.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් ඉලංචේලියන් මහත්වරුන්ගෙන් හෙබි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ යාපනය මහාධිකරණයේ දී ඉකුත් 28දා සිට නඩු විභාගය සිදුවෙයි.

පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩී.එස්.ජී. කුමාරරත්නම් මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම සිදු කරයි.

නඩු විභාගය ආරම්භ වූ දිනයේ දී ඝාතනයට ලක්වුණ විද්‍යා දැරියගේ මව වන සිවලෝගනාදන් සරස්වතී මහත්මියගෙන් සාක්ෂි මෙහෙය වූ අතර තම දියණිය පැහැරගත් අවස්ථාවේ ඇය විසින් හැඳ සිටි ඇඳුම් සහ ඇය පරිහරණය කළ සෙසු භාණ්ඩ සාක්ෂිකාරිය හඳුනා ගත්තාය.

29දා සාක්ෂි දෙකක් මෙහෙය වනු ලැබීය. උදයසුරිය සු‍රේෂ් කරන් සහ නඩරාසා කුගනේෂන් හෙවත් මාපිල්ලෙයි යන සාක්ෂිකරුවන් දෙදෙනා මෙදින සාක්ෂි දෙන ලදී. උදයසුරියන් සුරේෂ් කරන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන තිබුණ අතර නීතිපතිවරයා ඔහුට කොන්දේසි සහිත සමාවක් ලබා දී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු බවට පත්කරනු ලැබීය.

වව්නියාවේ බන්ධනාගාරගතව සිටි වෙනුල් ආබ්දීන් මොහොමඩ් ඉෆ්ලාර් නමැත්තාගේ සාක්ෂි මෙහෙයවීම 30දා සිදු විය. වෙනත් නඩුවකට බන්ධනාගාරගතව සිටි මොහු පරිගණක ඉංජිනේරුවරයෙකි.

සාක්ෂිකරුවන් එකොළොස් දෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීම ජුලි 3දා සිදු විය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ වී.ටී. තමිල්මාරන් මහතා ඇතුළු තිදෙනෙකුගේ සාක්ෂි මෙහෙයවීම 4දා සිදු විය. කයිට්ස් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුයින්ටස් පෙරේරා මහතාගේ සාක්ෂි මෙහෙයවීමත් මෙදින සිදු විය.

සොකෝ පොලිස් නිලධාරිවරයාගේ සාක්ෂි මෙහෙයවීම 5දා සිදු විය.

මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය විශේෂඥ පී. මයුරගන් මහතාගේ සාක්ෂි මෙ‍හෙයවීම පෙරේදා (6) සිදු විය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණකාරියගේ මුඛයේ තිබී සොයාගත් යට ඇඳුම මෙහිදී අධිකරණ වෛද්‍යවරයා හඳුනා ගත්තේය.

මරණයට හේතු ලෙස හිස පිටුපසට එල්ල කළ පහරක් හේතුවෙන් මොළයේ අභ්‍යන්තරයට රුධිර වහනයවීම, ටයි පටියකින් ගෙල හිරකිරීම, යට ඇඳුමක් මුඛයට ඇතුල් කිරීම යන කාරණා තුන අයත් වන බව සාක්ෂිකරු වන අධිකරණ වෛද්‍යනිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් සාක්ෂි ලබා දුන්නේය.

නැවත නඩු විභාගය ආරම්භ වන මේ 19 දා සාක්ෂිකරුවන් අට දෙනෙකු සහ 20 දා සාක්ෂිකරුවන් හය දෙනෙකු අධිකරණය හමුවට කැඳවා තිබේ. මෙම සාක්ෂිකරුවන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහත්වරු සාක්ෂි දීමට නියමිතය.

මෙම නඩුවේ විත්තිකරුවන් නම දෙනා වන්නේ පූබාලසිංහම් ඉන්ද්‍ර කුමාර් හෙවත් සින්නප්පා, පූබාලසිංහම් ජෙයකුමාර් හෙවත් රවී, පූබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී, පිල්ලෙනාදන් චන්ද්‍රකාශන් හෙවත් චන්ද්‍රා, ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි, පලනි රූපසිංහම් කුගනාදන් හෙවත් නිශාන්තන්, ජයදරන් කෝකිලන් හෙවත් කන්හා, මහලිංගම් සෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් යන අයවලුන්ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩී.එස්.ඩී. කුමාරරත්නම් මහතා පැමිණිල්ල මෙහෙයවන අතර රජයේ අධිනීතිඥ එන්. නියාස් මහතා සහ රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වා සහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්ම මහත්මීහු පැමිණිල්ලට සහාය දක්වති.

විධ්‍යා දැරිය යාපනයේ පුන්කුඩතිව්හිදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කරනු ලැබුවේ වසර 2015 මැයි 13දාය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා මෙම අපරාධය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කළ අතර නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව එය සිදු විය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post