ගීත‍ාගේ තීන්දුව අත්හිටවූ නියෝගයට එරෙහි පෙත්සම විභාගයට

0 May 16, 2017 09.24am Gossip

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසු නැති බවට තීරණය කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවට එරෙහිව ඇය ගොනු කළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට ඊයේ (15) අවසර දුන්නේය.

එම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අතුරු තහනම් නියෝගය බල පැවැත්වේ. පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 25 දින ඇරඹීමට නියම විය.

විනිසුරු මඬුල්ලේ බහුතර කැමැත්ත මත මෙම නියෝගය දෙන ලදී.

ඊවා වනසුන්දර, උපාලි අබේරත්න, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී වගඋත්තරකාර පෙත්සම්කාරිය වන ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ ලෙස කෙරුණු ඉදිරිපත් කෙළේය.

ප්‍රධාන කරුණු හතරක් යටතේ මෙම අභියාචනා පෙත්සම විභාගයට අවසර දෙන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ලැබුයේ ඇය ස්විස් ජාතිකයකු සමඟ විවාහ වීම නිසා බවත් 2006 වසර වන තෙක් ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ලබාගෙන සිටි ඇය පසුව එයට අයදුම් නොකළ බවත් එරටෙහි විදේශ අමාත්‍යාංශය විසින් සිදුකළ නීති සංශෝධනය අනුව ස්විස්ටර්ලන්ත ජාතිකයකු විවාහ වී සිටින පුද්ගලයාට නිරායාසයෙන්ම එරට පුරවැසිභාවය හිමිවන අතර ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මියට එරට පුරවැසිභාවය හිමිවී ඇති බව ඔහු සඳහන් කළේය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 93 E (xiii) වගන්තියට අනුව ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු නොවන බව හෙතෙම සඳහන් කළේය.

අභියාචනාධිකරණ තීන්දුව මඟින් මෙම පෙත්සමට අදාළව ක්වො වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කර ඇති නමුත් එවැන්නක් රජයේ නිලධාරියකුට එරෙහිව මිස වෙනත් අයකුට එරෙහිව නිකුත් කළ නොහැකි බවද හෙතෙම කීය.

පාර්ලිමේන්තුව අවසන් අභිමතානුසාරී බලය දරන අතර එහි අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලයද පාර්ලිමේන්තුව සතුවන බව ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ තීරණ ගැනීමේ බලයද පාර්ලිමේන්තුව සතුව පවතින බව කීය.

එසේම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට හෝ ඊට මැදිහත්ව ඊට බලපෑම් වන අයුරින් නියෝග නිකුත් කිරීමේ බලයක් කිසිදු අධිකරණයකට නැතැයිද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නඩු තීන්දු මඟින් තහවුරු කර ඇති බව හෙතෙම කීය.

මෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අභියෝගයට ලක් කරන්නේ නම් මැතිවරණ පෙත්සමක් ගොනු කළ යුතු බවත් පෙත්සම්කාර වගඋත්තරකරුවන් එවැන්නක් සිදුකර නැති බවත් හෙතෙම කීය.

මෙහිදී පෙත්සම්කාර වගඋත්තරකාර ඡන්දදායකයන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් සඳහන් කෙළේ අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනු කළද පෙත්සම්කාරියගේ නීතිඥවරයා එම තීන්දුවෙහි ඇති කිසිදු නීතිමය වරදක් පෙන්වාදීමට අපොහොසත් වූ බවය.

මැතිවරණය සඳහා නාමයෝජනා බාරදෙන අවස්ථාව වනවිටත්, පාර්ලිමේන්තුවට තේරීපත් වී දිවුරුම් දෙන අවස්ථාව වනවිටත්, මේ වනවිටත් ස්විස්ටර්ලන්ත පුරවැසියකු වන ගීතා කුමාරසිංහ මහත්මිය අධිකරණය නොමග යවා ඇති බැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කළ යුතු බවද ඒ මහතා කීය.

අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුවත් එම නියෝගය නොසලකා හරිමින් සිටි පෙත්සම්කාරිය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සහභාගී වූ බවද හෙතෙම කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුසු බවට අභියාචනාධිකරණය විසින් තීරණය කර තිබියදීත් පාර්ලිමේන්තුවට පැමිණි පෙත්සම්කාරිය “තමන් ආණ්ඩුවේ සිටියා නම් මෙලෙස වන්නේ නැතැයි” ජන හමුවකදී කියා තිබෙන බව කී ජනාධිපති නීතිඥවරයා අධිකරණ සහ අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ඇගේ ආකල්පය කෙබඳුද යන්න කෙරෙහි අධිකරණයේ අවදානය යොමු විය යුතු බව කීය.

මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් හෝ අපේක්ෂකයන් විසින් වන බවද, මෙම පෙත්සම්කරුවන් ඡන්දදායකයන් වන නිසා ඔවුන්ට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි බවද හෙතෙම කීය. ඔවුනට තිබූ එකම විකල්පය මෙවැනි ක්වෝ වොරොන්ටෝ රිට් පෙත්සමක් ගොනු කිරීම බව හෙතෙම සඳහන් කෙළේය.

පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක් ද සිල්වා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනවිටත්, පෙත්සම්කාරිය ද්විත්ව පුරවැසිභාවය ලබා සිටි බව ඔහු සඳහන් කෙළේය. ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය අත්හල බව ඒ එලෙස අත්හැරිය බවට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට අද වන තෙක්ම ඇය අපොහොසත්ව සිටින බව හෙතෙම සඳහන් කෙළේය. ඒ බව විගමන දෙපාර්තමේන්තුවේ සාක්ෂි මඟින් තහවුරු වන බව හෙතෙම කීය. ඇය නිසි පරිදි පාර්ලිමේන්තුවට පත් වී නැති නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කිසිවකට ඇය සුදුසු නැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කෙළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ මැතිවරණයට නාමයෝජනා බාරදීමට පෙර සිටම පෙත්සම්කාරිය තමා ද්විත්ව පුරවැසියකු බව දැන සිටි බවය. ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී කටයුතු කළ නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කර තිබියදී ඇය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමක් බව හෙතෙම සඳහන් කෙළේය. මෙම පෙත්සම සම්බන්ධ අතුරු නියෝග නිකුත් කිරීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ එවැනි කටයුතු දිරිමත් නොකළ යුතු බව හෙතෙම කීය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙළේය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post