මෝදි පැමිණීම අලුත් වෙනසක්

0 May 12, 2017 09.37am Gossip

ජාත්‍යන්තර වෙසක් උළෙලට ඉන්දීය අගමැති මෝදි පැමිණීම, එම වෙසක් උළෙල මෙරට පැවැත්වීමේ වැදගත්කම, ගෙවුණු මැයි දිනයේ වග විස්තර සහ දේශීය සම්පත් විකුණන්නේ යැයි ආණ්ඩුවට එල්ලවන චෝදනා ආදිය පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙසේ සාකච්ඡාවට එක්වේ.

* මහින්ද මන්නාරමෙන් කොටසක් නොමිලේ ඉන්දියාවට දුන්නා
* සමහර වෘත්තීය අරගල සාධාරණයි
* ලොකු රැලි තිබ්බට ඡන්ද දිනන්න බැහැ
* ජනතා අයිතිය උදුරාගන්න වෘත්තීය සමිතිවලට අයිතියක් නැහැ
* ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ සැමරීමෙන් රටට අත් වූ වාසි මොනවාද?

වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත්කරන්න එක්සත් ජාතීන්ට යෝජනා කළේ අපේ රටේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා. ලෝකයේ බහුතරයක් මීට කලකට ඉහතදී පිළිගත් ධර්මය වුණේ බුදු දහම. විවිධ ගැටුම් නිසා ඒ තත්ත්වය නැතිව ගියත් අදත් ලෝකයේ බෞද්ධයන් 7% ක් විතර ඉන්නවා. ඒ වගේම සමහර බලගතු රටවල බුදු දහම බලවත් දර්ශනයක් ලෙස මතුවෙමින් තිබෙනවා.

ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව වගේ රටවල බෞද්ධ දර්ශනය, ආධ්‍යාත්මික භාවනා වැනි දේ මතුවෙනවා. බුදු දහමට ලොව පුරා අලුත් වටිනාකමක් ඇතිවෙලා. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ලොකු අවධානයක් ‍ලැබෙමින් තිබෙනවා. අපේ මහා විහාරය තමයි බුදු දහමේ ප්‍රචාරක මධ්‍යස්ථානය වුණේ. මේ උත්සවයත් එක්ක ඒ තත්ත්වය නැවත ඇතිවෙමින් තිබෙනවා. මේ හරහා බෞද්ධ රාජතාන්ත්‍රික භාවයක් අපට ලැබුණා.

ජාතීන් අතර සබැඳියාව ලොවට පෙන්නන්න තිබුණු හොඳම අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ හිතනවද?

අපේ ආගම ආක්‍රමණශීලී වුණේ නැහැ. සමහර ආගම් යුද්ධයත් එක්කයි ව්‍යාප්ත වුණේ. අපි සියලු ජාතීන් එක්ව වෙසක් දිනය සැමරීමෙන් ආදර්ශයක් දුන්නා. බෞද්ධ රටවල් බොහොමයක් ආර්ථික අතින් ප්‍රබලයි. චීනය, ජපානය, කොරියාව, වියට්නාමය හොඳම උදාහරණ. මේ රටවල් බෞද්ධ දර්ශනය බලගතු විදියට පිළිගෙන තියෙනවා.

මේ බෞද්ධ දර්ශනය ලොව පුරා බෙදාහැරීමට කොයි වගේ වැඩපිළිවෙළක් ද තියෙන්නෙ?

ඉන්දියාවෙ මධ්‍ය ප්‍රදේශයෙ සංචාරයට යන ලංකාවෙ අයගෙ ගුවන් ටිකට් පතෙන් භාගයක් ගෙවන්න මධ්‍ය ප්‍රදේශ මහ ඇමැතිතුමා තීරණය කරල තියෙනවා. ‍ඉන්දියාවෙන් බිහිවෙලා ව්‍යාප්ත වෙච්ච එකම ආගම බුදු දහම. ඒ නිසා ඉන්දියාවෙන් අපට ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම අනාගමික රටක් වුණත් චීනයෙන් මේ දර්ශනය ප්‍රචලිත කරන්න ලොකු සහයක් ලැබෙනවා. ඒ අයගෙ වෙළෙඳ දූත මණ්ඩලවල කොටසක් බවට ඒක පත්වෙලා. මේ තත්ත්වයන් ප්‍රයෝජනයට අරගෙන බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම ආරම්භ කළ යුතුයි.

ජාත්‍යන්තර බෞද්ධ උත්සවයට ඉන්දීය නායකයාගේ පැමිණීම ගැන ඔබ මොකද කියන්නෙ?

නරේන්ද්‍ර මෝදි මහතා හින්දු භක්තිකයෙක්. බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඉන්දියාවෙ ප්‍රාන්ත මහ ඇමැතිවරුත් බෞද්ධයන්ට හොඳ තැනක් ලබාදෙමින් ඉන්නවා. සමහර තුච්ච දේශපාලකයො මෝදිගෙ ගමන රජීව් ගාන්ධි ඉන්දු - ලංකා ගිවිසුමට ආපු එකට සමාන කරන්න හදනවා. මේ පැමිණීම ඊට වඩා උතුම් කාර්යාවලියකට ආපු ගමනක්. බුදු දහම ආවෙත් ඉන්දියාවෙන්. මෝදි අගමැතිතුමා පහළම මට්ටමින් පැමිණි නායකයෙක්. වෙනදා ඉන්දීය නායකයින් බැලුවෙ උතුරේ දෙමළ ජනයාගේ සංස්කෘතික හා ආගමික උත්සව විතරයි. මේක අලුත් වෙනසක්. මෙය රටේ බහුතරයන්ගෙ ආගමික උත්සවයට සුවිශේෂී තත්ත්වයක්.

ඉන්දීය නායකයා ආවෙ ලංකාවෙ දන්සලෙන් බඩකට පුරා කාල යන්න කියල සමහරු කියනවා.

ඕව, ඔය තුට්ටු දෙකේ තුන් හතර දෙනෙක් කරන කතානෙ. දේශපාලන වශයෙන් ප්‍රයෝජන ගන්න කියන කතා. බෞද්ධයො ආඩම්බර වෙන්න ඕන, එක්සත් ජාතීන්ගේ බෞද්ධ සමුළුව මෙහෙ පැවැත්වීම ගැන. ඒකට ඉන්දීය අගමැතිවරයාගෙ පැමිණීම ගැන. තමිල්නාඩුවෙ ජාතිවාදීන්ගේ මතය පරාජය කරල ඔහුගෙ පැමිණීම වැදගත් නැද්ද? මේව ඉවසන්න බැරි අය කියන කතා. ඔය කතා කියන්නේ උතුරෙ යුද්ධය තියෙන කාලෙ පෞද්ගලික ව්‍යාපාර කරගෙන හිටපු අය. බෞද්ධයන්ට ගැටලු ඇති වුණාම පැත්ත පළාතෙ ගියෙ නැති අය. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නම වීරයො වෙන්න දඟලනවා.

ඔබ ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළත්, අග්‍රාමාත්‍යවරයා පහුගිය දවස්වල ඉන්දියාවෙ සංචාරයෙදී ගිවිසුමකට එළඹෙනවා.

ඒ ගිවිසුමයි, මෝදි අගමැතිවරයගෙ ලංකා ගමනයි අතර කිසිම සබඳතාවක් නැහැ. ඔය කියන ගිවිසුමට අදාළ කාරණා ඉන්දියාව සමඟ සාකච්ඡා කරන්න පටන් ගත්තෙ 2013 අවුරුද්දෙ. මහින්ද රාජපක්ෂ කාලෙ පී. බී. ජයසුන්දර ඉන්දියාවට යවල, ඉන්දියාවෙ ආර්ථික කටයුතු ලේකම් එක්ක සාකච්ඡා කරල, ලංකාවෙ තෙල්, ගෑස් ගවේෂණය, නිෂ්පාදනය, බලාගාර, තෙල් පිරිපහදු, තෙල් ගබඩා ගැන එකඟතාව හදාගත්තෙ 2013 මැයි මාසෙ. අද දේශප්‍රේමය කතා කරන මහින්ද රාජපක්ෂ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අපේ රටේ වටිනාම තෙල් සංචිත තිබුණු මන්නාරමේ කොටසක් නොමිලේ ඉන්දියාවට දුන්නා. ඒ කාලෙ ඒව කළේ රතු පාවඩේ එලල. ඒව විවේචනය කරන්න ඔය කියන කට්ටියට කොන්දක් නැහැ.

දේශීය සම්පත් විකිණීම මේ ආණ්ඩුවට එල්ලවන බරපතළ චෝදනාවක්,

දේශීය සම්පත්... දේශීය සම්පත්... කියල අපි නිකං බොල් හඬක් නැඟුවට, තියෙන සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන නැහැ. වරාය දේශීය සම්පතක් කියල වැඩ වර්ජන ගණනාවක් මෙහෙයෙව්වා. සුද්දා මේ වරාය 1950 දී ලෝකෙ පස්වෙනි තැන තිබ්බා. අද ඒක තියෙන්නේ තිස්වෙනි තැන. ඔය දේශීය... දේශීය... කියන අයගෙ පටු වැඩ වර්ජන නිසා තමයි වරාය පස්සට ගියේ. ගුවන් තොටුපළ පස්සට ගියේ. ඉලංගරත්න මහත්තය තෙල් ටැංකි ජනසතු කළා. තෙල් ටැංකි පාලනය කරපු, බ්‍රිටීෂ් පෙට්‍රෝලියම් එක ෂෙල් එක සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුව අද ‍ලෝකෙටම තෙල් සපයන මධ්‍යස්ථානයක්. සිංගප්පූරුව මේ සමාගම්වලට අයිතිවෙලා නැහැ. සිංගප්පූරුවෙන් තමයි අපිත් දැන් තෙල් ගන්නෙ. අපේ තෙල් ටැංකි ටික කැලේට ගිහිල්ල, ඔය වෘත්තීය සමිති එකෙක්වත් තෙල් ටැංකි ටිකට තීන්ත ටිකක් ගාන්නවත්, කැලෑව සුද්ද කරන්නවත් ගියෙ නැහැ.

රටේ ඇතිවෙමින් තිබෙන වෘත්තීය අරගල මහින්ද රාජපක්ෂගෙ පිට පටවා මර්දනයකට ආණ්ඩුව ලක ලෑස්ති වෙන බව කියනවා?

වෘත්තීය අරගල සමහර ඒවා සාධාරණයි. අපි ඒක පිළිගන්න ඕන. සමහර වෘත්තීය සමිති ජාතික ප්‍රශ්න ගැන කතා කරනවා. ඒක හොඳයි. දේශපාලනමය වශයෙන්, ආණ්ඩුව පෙරළන්න කටයුතු කරන ඒවා ගැන අපි වෙනම කටයුතු කරන්න ඕන. වෘත්තීය සමිති අරගලයි ජනතාවගෙ ජීවන අයිතියයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. ජනතාවගෙ ජීවන අයිතිය උදුරාගන්න වෘත්තීය සමිතිවලට නිරපේක්ෂ අයිතියක් නැහැ.

මේ ආණ්ඩුව පිහිටුවන්න සහාය දුන්නු බලවේග රැසක් මේ වර්ජන උද්ඝෝෂණවල ඉන්නවා.

ආණ්ඩුවට ඡන්දය දුන්නු මධ්‍යමික ජනතාව බලාපොරොත්තු වෙච්ච විදියට දූෂකයින්ට දඬුවම් දුන්නෙ නැහැ. ඒ නිසාම මේ ආණ්ඩුවට තිබුණු බලගතු තත්ත්වය නැතිකර ගත්තා. ඒ නිසාම අවස්ථාවාදී බලවේග හිස එසෙව්වා. සයිටම් ප්‍රශ්නය මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා විසඳන්න තිබුණු එකක්. මේවා දැන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති තමන්ගෙ අතට අරගෙන. අපි යම් යම් තීන්දු තීරණ ගැනීමට වෙච්ච පමාව මේ හැම එහෙකටම හේතුවක්.

ජනතාව කියන්නෙ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ හිටපු අයයි, යහපාලන ආණ්ඩුවෙ අයයි ඩීල් එකක් දාගෙන කියල.

ඔය කියන කරණය ඇත්ත, දේශපාලනික වශයෙන් ඇතැම් පුද්ගලයින් මේ දූෂකයන්ට දඬුවම් දීල නැහැ. මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ගාමිණී සෙනරත්, ගෝඨාභය රාජපක්ෂ වැනි පිරිසක් දඬුවම් ලැබිය යුතු නැති, නඩු දැමිය යුතු නැති පිරිසක් බවට පත්කරමින් ඉන්නවා. මේ අයට තියෙන බරපතළ අපරාධ චෝදනා වෙනුවට වෙන චෝදනා ගොනුකරන බවක් අපට පේනවා. මේක දේශපාලන වරදක්. ඊළඟ ඡන්දෙදි ඒ අයට මේව දේශපාලන භූමරංගයක් වෙයි. ඒ වගේම අපේ පරීක්ෂණ අංශවලට, පොලිසියට ඒ කාලෙ වෙච්ච දූෂණ හොයන්න තාක්ෂණික හැකියාවක් තිබුණෙ නැහැ. අධිකරණයෙ ප්‍රමාදයකුත් තියෙනවා. ස්වාධීන වුණාට සියල්ල විස‍ඳෙන්නෙ නැහැ.

අවුරුදු 2 ක් ගතවෙලත් ඔබතුමන්ලට මේ වෙනුවෙන් පෙනී හිටින්න බැරිවෙලා නේද?

අපි කොච්චර පෙනී හිටල තියෙනවද? මේ... දූෂකයන්ට දඬුවම් දෙන්න කියල. 2015 ජනවාරි 21 මුල්ම කැබිනට් පත්‍රිකාව ගෙනාවෙත් මමනෙ. ඊට පස්සෙ දූෂණ චෝදනා 1700 ක් දුන්නා. ඒ ගැන කැබිනට් පත්‍රිකා කීයක් දැම්මද? එක අවස්ථාවක මම දැම්ම කැබිනට් පත්‍රිකාවට ඇමතිවරු 17 දෙනෙක් අත්සන් කළා. මේ ගැන පනත් කෙටුම්පතක් සරත් අමුණුගම මහත්තයත් එක්ක දැම්ම. මේවා යට ගහන ස්වරූපයක් අපට පේනවා. මේක ජනවරමට කරන විහිළුවක්.

ගෝල්ෆේස් සෙනඟින් කිව්වෙ, මේ ආණ්ඩුව යන ගමන වැරදියි කියන එකද?

මහින්ද මහත්තය 2015 ජනාධිපතිවරණයට විශාල රැලි තිබ්බා. ලොකුම රැලිය තිබ්බෙ අනුරාධපුරේ. මෛත්‍රී මහත්තයගෙ රැලිය තිබ්බෙ මහනුවර. ඒ රැල්ලට හැමෝම කිව්වෙ මහින්ද මහත්තය දිනනව කියල. එයා දින්නෙ නැහැනෙ? මේ රටේ ලොකුම රැලි තිබ්බෙ රෝහණ විජේවීර. නමුත් ඒවයින් ජේ. වී. පී. එක දිනුවෙ නැහැනෙ? ඕව මහජනතාවගේ කැමැත්ත පෙන්නුම් කරන ඒවා නොවෙයි.

මීළඟට ජනතාව කොළඹට එන්නෙ යන්න බලාගෙන නෙවෙයි කියල විමල් වීරවංශ කියනවා.

‍ එයා ගැන මම කතා කරන්නවත් කැමති නැහැ. විමල් වීරවංශගෙ අතීත කයිවාරු කීයක් ඇත්තවෙලා තියෙනවද, කීයක් බොරුවෙලා තියෙනවද කියල හැමෝම දන්නව. මහින්දගෙ හෙවණ යට ගිරිය යටින් කෑගහනව මිසක් මේ රටේ සමාජය වෙනස් කරන්න විමල් වීරවංශට බැහැ.

රාජපක්ෂල හොරු නම් එදා කැබිනට් එකේ හිටපු ඔක්කොම හොරු කියල ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරය කියනවා. එදා කැබිනට් එකේ ඔබත් හිටියා.

ඒ කතාව නම් අපි පිළිගන්නෙ නැහැ. කැබිනට් එකේ ඉන්නකොට සාමූහික වගකීමක් තියෙනව කියන එක පිළිගන්නවා. එදා අපි විරුද්ධ වෙච්ච දේවලුත් කළා. ගෝල්ෆේස් එකේ ඉඩම ෂැංග්‍රිලා එකට සින්නක්කරම දුන්න. ඒකට කැබිනට් එක වගකියන්න ඕනද? ඒ වගේ ගනුදෙනු කීපයක්ම වුණා. ඒව දැන් ඔප්පු වෙලා තියෙනවනෙ. පාරවල් හදන කොන්ත්‍රාත් පෞද්ගලික අයට දුන්න. ඒවයෙන් සල්ලි මිටි ගණන් අරලියගහ මන්දිරයට ගිහින් දුන්න. ඒව ඔප්පු වෙලා තියෙන්නෙ. ඒවටත් කැබිනට් එක වගකියන්න ඕනද?

නාගරික සංවර්ධන අධිකාරියට අයත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතට මායිම් වෙච්ච පර්චස් 381.4 ක ඉඩම පෞද්ගලික සමාගමකට බදු දීමේදී රුපියල් මිලියන 2798 ක පාඩුවක් වුණ බව කියනවා. රෑන්ක් කා පාර්ක් කියන එකට 2009 දී ‍මහින්ද රාජපක්ෂ මහත්තය මේක දීල තිබුණෙ කිසිම ගිවිසුමක් නැතුව. අපි මේ ඉඩම ගන්න ගියත් නාගරික සංවර්ධන අධිකාරියෙ මුදල් අපහසුතාව නිසා ගන්න බැරි වුණා. ඉඩමෙ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් මිලියන 3620 යි. කැබිනට් අනුමැතියකින් අපි මුදල ආකාර තුනකින් අයකර ගත්තා.

ඔබ මෙවර මැයි දිනය වෙනස් ආකාරයකට සැමරුවෙ මොකද?

දේශපාලන පක්ෂවල හයිය පෙන්වීම වෙනුවට හැබෑවටම දහඩිය මහන්සිය හෙළන මිනිසුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරන්න අපි කටයුතු කළා. ඇත්ත දහදිය මහන්සිය හෙළන මිනිසුන් වෙනුවෙන් වෙනම ව්‍යාපාරයක් අපි හදනවා.

එතනින් පස්සෙ ඔබ ගොඩවුණේ එ. ජා. පක්ෂ මැයි දින වේදිකාවට. මෙතන පොඩි නොපෑහීමක් තියෙනව නේද?

එහෙම එකක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයෙන්නෙ ඡන්දය ඉල්ලුවෙ. ඒ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න අයිතියක් තියෙනවා. ජනාධිපතිතුමාට ලැබුණු ලක්ෂ හැට‍ දෙකෙත් අපි ඉන්නවා. එ. ජා. පෙරමුණට ලැබුණු ලක්ෂ පනහෙත් අපි ඉන්නවා.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post