කුඩු ඇල්ලීමේ මෙහෙයුම් නවත්වන්නේ නෑ

0 May 12, 2017 09.33am Gossip

මත්කුඩු වැටලීම් අඩපණ කිරීමට ජාවාරම්කරුවන් කොතරම් ප්‍රහාර එල්ල කළත් ඒ අභියෝග මැඬගෙන මත්කුඩු තුරන් කිරීමේ මෙහෙයුම් මීටත් වඩා ප්‍රබල ආකාරයෙන් කරගෙන යන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

පොලිස්පතිවරයා මෙම ප්‍රකාශය කළේ පිළියන්දල ප්‍රදේශයේ දී පසුගිය දා (9) දක්ෂ මත්කුඩු වැටලීම් නිලධාරියකු වූ පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එල්ල කළ පාතාල මත්කුඩු ජාවාරම්කරුවන්ට පිළිතුරු දෙමිනි.

මත්කුඩු වැටලීම් කිසිසේත් පාතාල ක්‍රියාකාරකම් හමුවේ නතර නොකරන බවට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඒ ලෙස ඉටුකරමින් හලාවත හෙරොයින් කිලෝ 200 අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී තිබුණි.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු පොලිසියේ 13දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ සැලසුම්සහගතව කුඩු ජාවාරම්කරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය දා (9) රාත්‍රි 9ට පමණය.

එම ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂක රංගජීව මහතා බරපතළ තුවාල ලැබූ අතර එක් පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගොස් පොලිසියේ තවත් දෙදෙනෙකුටත් අසල වෙළෙඳ සලක සිටි ළමයි තිදෙනකු ඇතුළු හත් දෙනෙක් තුවාල ලැබූහ.

රංගජීව මහතා මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එහිදී මියගිය පොලිස් කොස්තාපල් චමින්ද අබේවික්‍රම මහතාගේ නිලය පොලිස් සැරයන් ධුරය දක්වා ඉහළ දමා තිබේ. ඔහුගේ අවමඟුල් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට 13 මාරවිල දී සිදු කෙරේ.

අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂක රංගජීව මහතාගේ පෞද්ගලික මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇත.

ජාත්‍යන්තරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් මෙරටට කුඩු සැපයීමේ ප්‍රබල ජාවාරම්කරුවකු වූ මෙන්ම දකුණේ පාතාල නායකයකු වූ මධුෂ් නමැත්තා සහ තවත් පාතාල කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු එක්ව පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු කණ්ඩායම ඝාතන සැලසුම දියත් කර ඇති බව පරීක්ෂණ අංශ සැක කරයි.

මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් හයක් යොදවා තිබේ.

මෙම වෙඩි තැබීමට ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියද මහරගම නීලම්මහර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබිය දී සොයා ගැනිණි.

කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයේ දක්ෂ මත්ද්‍රව්‍ය වැටලීම් නිලධාරියකු වූ පොලිස් පරීක්ෂක රංගජීව මහතා පසුගිය කාලය පුරා කළ වැටලීම්වලින් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාවාරම විශාල ලෙස පහත වැටෙමින් තිබිණි. ඔහුට අවස්ථා ගණනාවකදීම මරණ තර්ජන ද එල්ල වී තිබුණි.

මෙදින ඔත්තුකරුවකුගේ ඔත්තුවකට අනුව පිළියන්දලට ගිය රංගජීව මහතා ඇතුළු කණ්ඩායම පාතාල කුඩු ජාවාරම්කරුවන්ට කොටු කරදීමේ සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බව සිදුවී ඇත. අභ්‍යන්තර කරුණු අනුව පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත් පාතාල කුඩු ජාවාරම්කරුවන්ගේ පොදු සතුරකු බවට පත්වී සිටි පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඇතුළු කණ්ඩායම ඝාතනය කිරීමට මදුෂ්ට අමතරව සිද්ධික් අංගොඩලොක්කා ඇතුළු කිහිප දෙනකුම එකට එකතු වන්නට ඇතැයි ද සැක කෙරේ.

මධු නමැත්තා විදෙස් රටක සිට මීට මාස කිහිපයකට පෙර සමයං ඝාතනය කිරීමේ සැලසුමට සම්බන්ධවීමට මෙරටට පැමිණ තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණි.

ඔවුන් කොටුකර ගැනීමේ මෙහෙයුම් සිදුවන අතරතුර මෙම ප්‍රහාරය එල්ල විය.

මත්කුඩු වැටලීම්වලදී පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඒ සම්බන්ධව බරපතළ කටුක අවස්ථාවලට මුහුණදෙමින් සිය වගකීම් කැපවීමෙන් ඉටු කිරීමට කටයුතු ‍කළ නිලධාරියෙකි.

මීට මාස කිහිපයකට පෙර මහමුහුද මැද මත්කුඩු නැවක් කොටුකර ගැනීමට සිදු කළ මෙහෙයුමේදී එම නෞකාවට බෝට්ටුවකින් ගොස් ලණුවල එල්ලෙමින් ගොස් එම නැවට නැගගත් නිලධාරියා වූයේද රංගජීව මහතායි.

එවැනි බරපතළ අවස්ථාවලට පවා ඔහු සිය ජීවිත ආරක්ෂාව ගැන නොතකා මුහුණ දී තිබේ. එහෙයින් ඔහු කොටුකර ගෙන ඝාතනය කිරීමේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සැලසුමක් ක්‍රියාත්මක වී තිබිණි. මෙම ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් සොයා පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් දැනටමත් ප්‍රහාරය හා සම්බන්ධ වූ තොරතුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගනිමින් අපරාධකරුවන්ට කිසිසේත් රටින් පිටව යාමට පවා ඉඩ නොතබමින් පරීක්ෂණ සිදු කරගෙන යයි.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post