රෝස් අස්වුණාට එජාපයට පාඩුවක් නෑ

0 Apr 21, 2017 10.18am Gossip

රෝස්ගේ ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයට කිසි සේත්ම ප්‍රශ්නයක් නොවන බවත් එක්කෙනෙක් ඉල්ලා අස් වුණාට තවත් දහදෙනෙක් ඉදිරිපත් වීමට සිටින බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාපැවසිය.

ලංකාවේ දේශපාලනය කිරීමට සුදුසුකම් ඇති අය ඕනෑ තරම් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා තමන් හෙට අස්වුණොත් තමන්ගේ තැන ගැනීමට ඕනෑ තරම් පිරිසක් සිටින බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් අවධාරණය කළේය.

ගුවන් තොටුපොළේ රියදුරන්ගේ ගමන් බිමන් පිළිබඳ අවසර ලබා දීමේ බලපත්‍රය ලබාදීම ප්‍රමාදවීම නිසා විශාල පාඩුවක් සිදුවූ බවට පසුගිය දිනවල මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

' ගුවන් තොටුපොළේ රියදුරන්ගේ ගමන් බිමන් පිළිබඳ අවසර ලබා දෙන බලපත්‍රය ලබා දීම ප්‍රමාදවීම නිසා විශාල පාඩුවක් වුණා කියලා වැඩියෙන්ම කෑ ගහන්නේ දේශපාලනඥයෝ. ඒක රියදුරන්ගේ ප්‍රශ්නයක් මිස දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් නෙවේ. දේශපාලනඥයෝ ඒකෙන් ගසා කන්න හදනවා නම් ඒක අසාධාරණයි. වැරැදියි.

ඒ නිසා මම රියදුරන් ගේ සංගමයේ ලේකම්තුමා සහ සභාපතිතුමා ගෙන්වා, ඔවුන්ට අවවාද කර, දේශපාලනඥයන්ට මේකට පැටලෙන්න දෙන්න එපා කියලා කිව්වා. මම දන්නේ නෑ දේශපාලනඥයෝ රියදුරන්ගෙන් කප්පම් ගන්නවාද කියලා. එහෙම කරනවා නම් ඒක වැරැදියි. ඒ අහිංසක මිනිස්සු බොහොම මහන්සියෙන් වාහනයක් හොයා ගෙන ඒක ධාවනය කරලා හම්බ කරන එකෙන් මුදල් කොල්ල කනව නම් ඒක අතිශයින්ම වැරැදි දෙයක්. ඒ නිසායි මම මේ පියවර ගත්තේ.

ඒ වගේම ගුවන්තොටුපොළේ යම්කිසි පිළිවෙළක් තියෙන්න ඕනෑ. අපට ලැබෙනපැමිණිලිවලට අනුව අපට පේනවා වාහන දා ගන්න මිනිස්සු පොර කන හැටි. ඒ වගේ දේවල් වෙනත් රටවල වෙන්නේ නෑ. ලංකාවේ මෙහෙම වෙන එක ගැන අපි කනගාටු වෙනවා.

ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන කුණු ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැති තුමා විශාල ප්‍රයත්නයක් දරණ බව ද ඒ සඳහා යතා කාලයේ දී හොඳ විසඳුමක් ලැබෙනු ඇති බව විශ්වාස කරන බව ද ජෝන් අමරතුංග අමාත්‍යවරයා පැවසීය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post