කුණු කන්දේ ‍ඛේවාචකයට රජයට ඇඟිල්ල දිඟු කිරීම අසාධාරණයි

0 Apr 21, 2017 10.12am Gossip

මීතොටමුල්ල කසළ ප්‍රශ්නය වසර තිහක පමණ කාලයක පටන් පවතින් එකක් බැවින් කුණු කන්ද නාය යෑම සම්බන්ධව වත්මන් රජයට පමණක් ඇඟිල්ල දිඟු කිරීම සාධාරණ නොවන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

වත්මන් රජය බලයට පත්ව වසර දෙකක පමණ කාලයක් ගතව තිබෙන බැවින් දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මෙම ගැටලුවට විසඳුම් ලබා ‍දීමට කාලය ප්‍රමාණවත් නොවන බවත් උන්වහන්සේ කීහ.

නියෝජ්‍යය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20) මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේ මේබව ප්‍රකාශ කළහ.

මීතොටමුල්ලේ සිදුවීම නිසා දැන් තම ප්‍රදේශවලට කසළ බැහැර කරනවාට ජනතාව විරෝධය දක්වන බවත් ඊට හේතුව දේශපාලනඥයින් කරන ප්‍රකාශ පිළිබඳව ජනතාවට එතරම් විශ්වාසයක් නොමැති වීම බවත් මහනාහිමියෝ කීහ.

ජනතාව විපතට පත්ව තිබෙන මෙම අවස්ථාවේ දේශපාලන වාසි පිළිබඳ නොසිතා සැවොම ජනතාවට සහන ලබාදී ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට උනන්දු විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා දැන් දේශපාලන වාසි සඳහා නොයෙක් ප්‍රකාශ කළත් එම රජය පුත්තලමට කොළඹ කසළ ගෙන යෑමට සැකසූ ව්‍යාපෘතිය අතිශයින් අසාර්ථක එකක් බව නියෝජ්‍යය කතානායක තිලංග සුමතිපාල මහතා කීය.

එම ව්‍යාපෘතිය අසාර්ථක නිසා ඔවුන් ක්‍රියාත්මක නොකළ බවත් දැන් මීතොටමුල්ල ප්‍රශ්නයෙන් ‍බේරීමට පදනම් විරහිත කතා කරන බවත් ඒ මහතා කීවේය.

කොළඹ සිට දුම්රියෙන් පුත්තලමට කසළ ‍ගෙන ගොස් එතැන් සිට තවත් කිලෝ මීටර 18ක දුරක් කසළ ගෙන යන ව්‍යාපෘතියක් යෝජනා වී තිබූ බවත් දෛනිකව අති විශාල කසළ ප්‍රමාණයක් දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් කොළඹ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා ඉදිරිපත් වූ ලස්සන සිහිනයක් මිස මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතියක් නොවන බවත් හෙතෙම පැවසීය.

එක් දුම්රිය මැදිරියක කසළ ටොන් 40ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි බවත් දෛනිකව නාගරික ප්‍රදේශවලින් එකතුවන ටොන් 8000ක් පමණ වන කසළ ප්‍රමාණය පුත්තලමට ප්‍රවාහනය කිරීමට මැදරි කීයක් අවශ්‍යය වන්නනේද යන්න අවධානය යොමුකළ යුතුව තිබෙන බවත් කී ඒ මහතා පාසලක දෙවන පන්තියේ සිසුවකු හෝ මෙවැනි දුර්වල යෝජනා නොකරන බවද ප්‍රකාශ කළේය.

කසළ සම්බන්ධ ක්‍රියාවලිය සඳහා ජාතික ආයතනයක් රටේ ස්ථාපිත විය යුතුව ඇති බවත් මධ්‍යම රජය,පළාත් සභා හා පළාත් පාලන අයාතන ඒ සම්බන්ධවී ජාතික ප්‍රතිපත්තියක් යටතේ එකට කටයුතු කිරීම වැදගත් බවත් හෙතෙම කීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක,ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාතික ව්‍යාපෘති ලේකම් සුජීව ගොඩලියද්ද යන මහත්වරුද සහභාගී වූහ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post