සහන සැලසීමේදී මුදල් ගැටලුවක් කරගන්න එපා

0 Apr 17, 2017 10.14am Gossip

විපතට පත් ජනතාවට සහන සැලසිම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්, ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුද පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු සහ රාජ්‍ය නිලධාරීහු එම සාකච්ඡාවට එක්ව සිටියහ.

මීතොටමුල්ල විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැලසීමට කටයුතු කරන ලෙසත් එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇතිකර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ ඊයේ (16) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත්කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ප්‍රමුඛ අවධානයට යොමුවිය.

එමෙන්ම තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත්කරමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමේ කටයුතු කඩිනම් කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

එම කටයුතු සඳහා මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 03ක් තාවකාලිකව යොදා ගැනීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමුවූ අතර එහිදී ජනාධිපතිතුමා නියෝග කරනු ලැබුවේ එම ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව එම යොමුකිරීම් සිදුකරන ලෙසය.

එම ජනතාවගේ නිවාසවල ඇති භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමුවූ අතර එම බඩු බාහිරාදිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාගැනීමටත්, ඒ සඳහා ආරක්ෂාව සැපයීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ආපදාවට ලක්වූ පවුල් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර විපතට පත් පවුල් සංඛ්‍යාව සහ හානි වූ දේපළ පිළිබඳ නිසි ගණනයක් හා තක්සේරුවක් සිදුකොට ඒ පිළිබඳ වාර්තාව දින 05ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සෙවීමේ හා මුදාගැනීමේ ක්‍රියාන්විතයේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර ජනතාවට සහන සැලසීමට සහ නැවත පදිංචි කිරීම් සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරුණි.

එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදෙනු ලැබූවේ ජනතාවගේ චෝදනාවට ලක්නොවන අයුරින් එම කටයුතු සිදුකළ යුතු බවයි.

එමෙන්ම ආපදාවෙන් මරණයට පත්වූ අයගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක්වූ අතර එම කටයුතු අද දිනයේ සිට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සොයා බලා ඉටුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මෙම රැස්වීම දින තුනකට වරක් කැඳවීමටද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ලබන බදාදා පෙ.ව.8.30ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී නැවත සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ. එච්. එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්, ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරු, පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද එම සාකච්ඡාවට එක්වූහ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post