එජාප මැතිඇමතීන්ට - ආයතන ප්‍රධානීන්ට රට යා හැක්කේ වසරකට දෙවරයි

0 Apr 06, 2017 09.47am Gossip

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පක්ෂයට සම්බන්ධ සංස්ථා සභාපතිවරුන් ඇතුළු ආයතන ප්‍රධානීන්ට මින් ඉදිරියට විදේශ ගත විය හැක්කේ වසරකට දෙවරක් පමණක් බවත් ඒ සඳහා තමාගේ පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඊයේ (05) අගමැති වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේය. අගමැති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය. එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනස්කම් සිදු කිරිම මැයි දිනයෙන් පසු සාකච්ජා කර සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ඊයේ තීරණය විය. පක්ෂයේ සියලු දෙනාම මැයි දිනය සාර්ථක කර ගැනීම සහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා දායක විය යුතු බවත් මෙහිදි තීරණය විය.

හම්බන්තොට වරාය ඉඳි කිරීම කඩිනම් කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය. පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සහන සැලසීම මේ වසර අවසන් වීමට පෙර සිදු කිරිමටද තීරණය විය.

2017 වසර සඳහා නව ආසන සංවිධායකවරුන් 113 දෙනෙකු පත් කළ බව අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ අතර අනෙකුත් ආසන සංවිධායකවරුන් ප්‍රගතියක් පෙන්වන්නේ නම් ඉදිරියේදි ඔවුන්ද මේ වසර සඳහා පත් කරන බවත් නැතිනම් අලුත් සංවිධායකවරුන් පත් කෙරෙන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය. රටේ ප්‍රශ්නවලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පක්ෂයේ තීරණය සමග සිටිය යුතු බවත් සිය පෞද්ගලික මත පළ කිරීමෙන් වැළකිය යුතු බවත් මෙහිදි තීරණය විය.

අම්බලන්ගොඩ ආසන සංවිධායක බෙනට් පනියන්දූව මහතාට එරෙහිව අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කෙරන බැවින් ඔහුගේ ආසන සංවිධායක ධූරය මේ වසර සඳහා ලබා දීම තාවකාලිකව නතර කළ බව ප්‍රකාශ විය. මාතලේ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතාට එරෙහිවද විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතර ඒවා කඩිනමින් සිදු කරන ලෙසද මෙහිදී අගමැතිවරයා විනය කමිටුවට උපදෙස් ලබා දුන්නේය.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post