මිහින්තලා පරිසරය වනසන්න එපා

0 Apr 05, 2017 09.41am Gossip

මිහින්තලාවට ප්ලාස්ටික් සහ පොලිතීන් රැගෙන ඒමෙන් වළකින ලෙස වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ඉල්ලා සිටිති. එසේම මිහින්තලයට වසරේ දවස් තුන්සිය හැට පහේම ජනතාව පැමිණෙන බවත් ඒ හැම කෙනෙකුම බුදුන් වහන්සේ ‍ගේ ධර්මය අනුගමනය කරනවා නම්, මිහිඳු හිමියන් අනුගමනය කරනවා නම් මිහින්තලයට ගෞරවයක් තිබේ නම් මිහින්තලා පරිසරය වැනසීම මිහිඳු සංස්කෘතිය නොවන බව අවබෝධ කර ගත යුතු බව ද උන් වහන්සේ පැවසූහ. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව පිළිබඳව ලේක් හවුස් ආයතනයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ස්වාමීන් වහන්සේ

'මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඩී. ආර් විජයවර්ධන මහතා ගේ සංකල්පනාව එක්දහස් නව සිය හැට දෙක වසරේ දී රංජිත් විජයවර්ධන මහතා විසින් ක්‍රියාත්මක කළා. එදා එය ආරම්භ වුණේ හුළු අතු අරන් කඳු තරණය කරමින්. ඒ කාලේ විදුලි රැහැන් නැති කිසිම පහසුකමක් නැති කාලේ තමයි මේ ආලෝක පූජාව කියන සංකල්පය මේ රටට හඳන්වා දුන්නේ. බුදු දහම හඳුන්වා දුන්නා වගේම . එය මේ වන වට රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ පරපුරේ දෙවැනියෙක් හැටියට රුවන් විජයවර්ධන මැතිතුමා තන්තිරිමලේ ආලෝක පූජාව කරනවා. මේ වගේ මහා පින්කම් කරනවා වගේම අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තියෙනවා.

එදා එන කොට පොලිතින් තිබුණේ නෑ. බුලත් කෙල ගැහුවෙ නෑ. ඒ පින්කම් මහා ගෞරවයෙන් කළා. ඒත් අද ඇතැම් අය ඩොලැක්කි ගහගෙන, කන් විද ‍ගෙන, දම් වැල් දා ගෙන විවිධාකාර විදියට යි සහභාගි වෙන්නේ. වැව් වලට පැනලා කාපු බීපු තැන් විනාශ කරලා, ප්ලාස්ටික් පොලිතීන් නැව් ගණන් ඉතිරි කරලයි ඔවුන් ආපසු යන්නේ. ඒ නිසා අප තීරණය කළා අද සිට මිහින්තලාවට ප්ලාස්ටික් නොගෙන එන ලෙස දන්වන්නට. ඒ වාගේම වෙළෙන්දන්, දන්සැල්කරුවන් හැම කෙනෙක්ම බෝධි පූජාවක් තියනවා නම්, මිහිඳු හාමුදුරුවන්ට සලකනවා නම් බුදු හාමුදුරුවන් ගේ ධර්මය අනුගමනය කරනවා නම් දැන ගත යුතුයි ඒවා නොවෙයි මිහිඳු සංස්කෘතිය.

තිස්ස රජු මිහිඳු හාමුදුරුවන්ට අඹ ගෙඩිය කපා දුන්නට පසු එය වළඳලා අඹ ඇටය දුන්නා පැළ කරන්න කියලා. රජවරුන්ටත් කිව්වේ සතුන් මරන්න එපා. ඒ පූජා භූමිය වවන්න අවශ්‍යයයි කියලා. එහෙම සංස්කෘතියක් තිබුණ තැනක වර්තමානයේ මෙන්න අත් වෙලා තියෙන ඉරණම. ලේක් හවුස් ආයතනය උත්සාහ දරන්නේ යටිතල පහසුකම් සපයන්න.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගේ සහ රජයේ පවා බලාපොරොත්තුව එයයි.

පිටරටවල් හොඳයි කියලා කියනවා. කාලා බීලා පොලිතින් කෑල්ලක් වත් දාන්නේ නෑ. ඒත් අපි කාලා ගියාට පස්සේ එතැන වවුල්පොළ වගේ. මා වුවලෝ ලැග්ගම හැම තැනම විසුරවලා, ඒ වගේම දුගඳ හමනවා ප්‍රතිචක්‍රීයකරණය කියන එක අපේ සංස්කෘතියෙන් පටන් ගත්තේ. දැන් ක්‍රියාත්මක මිහිකත සමුළුව, වයිල්ඩ් ලයිෆ් ඩේ ක්‍රිස්තු පූර්ව සියවසේ අප ඒවා ආරම්භ කරලා දුන්නා. ඒ මිනිස්සු කොළ අතු අඳින කොට අපි ඇඳුම් ඇන්ඳා. කුවේණි රෙදි කර්මාන්තය කරලා තියෙන බව අපි දන්නවනෙ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවත් එක්ක බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි කරනවා වගේම මිනිසුන්ගේ වගකීමක් යුතුකමක් තියෙනවා පරිසරයට ජල උල්පත්, සතා සිව්පාවාට ආදරේ කරන්න කියන පණිවුඩය දෙන්න.

මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව සති පිරිත මැයි 29 වැනිදා ආරම්භ ‍වන අතර 04 වැනිදා දොරකඩ අස්නත් මිහිදු පෙරහර 07 වැනිදාත් පැවැත්වෙන බව වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙහිදී අනාවරණය කළහ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජූනි මස 7 වන දා ආරම්භ කෙරේ.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post