ජවිපෙ 88 දී වෙඩි තියලා මරන්න හැදූ මාව අද වෙන විදිහකට මරන්න උත්සාහ කරනවා

0 Mar 19, 2017 09.52am Gossip

මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහලේ සහ
සයිටම් විශ්වවිද්‍යාලයේ  සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු

ප්‍රශ්නය - සයිටම් විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ සූදානමක්‌ තිබෙනවාද?

පිළිතුර - නැහැ. කවදාවත් පවරා ගන්නේ නැහැ.
සයිටම් කියන්නේ අර්බුදයක්‌ නොවේ සයිටම් කියන්නේ විසඳුමක්‌

"සයිටම් පිළිබඳ අර්බුදය අද රටේ ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වී තිබේ. සයිටම් විරෝධීන් "සයිටම් එපා", "සයිටම් හොර උපාධි කඩය වසා දමව්", " රෝගී ජීවිත බිලි ගන්න සයිටම් මාරයා පන්නව්", "සුදුසුකම් නැති දොස්‌තරලා රටට එපා" ආදී විවිධ දේ කියමින් කරන අරගලය අද රටේ දෛනික චර්යාවේ කොටසක්‌ වී හමාරය. දොස්‌තරවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ, දේශපාලන පක්‌ෂ සයිටම්වලට එරෙහිව තීරණාත්මක හඬක්‌ නඟති. එහෙත් ආණ්‌ඩුවේ බහුතරයකගේ කැමැත්ත සයිටම් රටට අවශ්‍ය බවය. මේ අර්බුදය පිළිබඳව විමසීමට ඇතිs හොඳම පුද්ගලයා අන් කවරෙකුවත් නොව මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහලේ සහ සයිටම් විශ්වවිද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතාය. "දිවයින ඉරිදා සංග්‍රහය" ඒ මහතා සමඟ සයිටම් අර්බුදය, සයිටම් ආරම්භය හා එහි ඉතිහාසය පිළිබඳවත් කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය - සයිටම් විශ්වවිද්‍යාලය අද රටට අර්බුදයක්‌, රටට ප්‍රශ්න ගේන තැනක්‌ බවට පත් වෙලා.

පිළිතුරු - සයිටම් කියන්නේ අර්බුදයක්‌ නොවේ. සයිටම් කියන්නේ විසඳුමක්‌. ඒක ප්‍රශ්නයකුත් නොවේ. ප්‍රශ්න ගණනාවකට පිළිතුරක්‌. හැබැයි පිරිසක්‌ මෙය අර්බුදයක්‌ කරගෙන ඉන්නවා. ඔවුන් සයිටම් හරහා නැති ප්‍රශ්න මවමින් ඉන්නවා.

ඔවුන් කරන්නේ අපරාධයක්‌. විශ්වවිද්‍යාලයට සුදුසුකම් නොලබන එහෙත් උසස්‌ පෙළ විශිෂ්ට ලෙස සමත් දරුවන්ට පිළිගත් ක්‍රමවේදයකට අනුව වෛද්‍යවරයෙකු වීමේ අවස්‌ථාව අපි උදා කර දී තිබෙනවා. ඒ අවස්‌ථාවට පහර ගැසීම අපරාධයක්‌. උසස්‌ පෙළ සමත් දක්‌ෂ සිසුන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වීමේ අර්බුදයට සයිටම් විසඳුමක්‌. එවැනි ළමයින් මුහුණ දෙන ප්‍රශ්නවලට සයිටම් පිළිතුරක්‌. කොටින්ම සයිටම් කියන්නේ උගත් දරුවන්ට තෝතැන්නක්‌.

ප්‍රශ්නය - ඒaත් අද එය අර්බුදයක්‌ බවට පත් වී තිබෙනවා. ඔබ එය පිළිගන්නේ නැද්ද?

පිළිතුරු - අපේ මිනිස්‌සු කුහකයි. දියුණු වෙනවාට හැදෙනවාට කැමැති නැහැ. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ. තමන් දොස්‌තර වුණාම ඇති. අනෙක්‌ අය දොස්‌තර වෙන්න හොඳ නැහැ. ඒවාට අකුල් හෙළනවා. ඔවුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණත් ඊට සම්බන්ධ ශිෂ්‍ය සංගම්ද එකතු වෙලා සයිටම් කියන එක අද අර්බුදයක්‌ කරලා.

ප්‍රශ්නය - සයිටම් පටන් ගනිද්දි මෙවැනි අර්බුද ඇති වෙයි කියලා හිතුවේ නැද්ද?

පිළිතුරු - නැහැ. ඒ වගේම සයිටම් පටන් ගැනීම පිළිබඳව කනගාටුවකුත් නැහැ. හැබැයි අනුන්ගේ ළමයින්ට උගන්වන්න ගිහින් තමයි මට මේ අවලාද අහන්න වෙලා තිබෙන්නේ. මගේ මුදල් මගේ ළමයින්ට දීලා නිකන් හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

ප්‍රශ්නය - සයිටම් ආරම්භ වුණේ කෙසේද?

පිළිතුර - එවකට රජයේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි විශ්වා වර්ණපාල මහතා කිව්වා ලක්‌ෂ 2 1/2 ක්‌ සිසුන් උසස්‌ පෙළට ලියනවා. ලක්‌ෂයක්‌ සමත් වෙනවා. ඒත් විශ්වවිද්‍යාලයට තේරෙන්නේ ළමයි 18000 යි කියලා. සල්ලි තිබෙන අය ඉන්නවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න යෑයි ඔහු එදා පැවසුවා. ඒ අනුව තමයි සයිටම් පටන් ගත්තේ.

ප්‍රශ්නය - කොහොමද මුදල් සොයා ගත්තේ? කොපමණ මුදලක්‌ එයට ආයෝජනය කළාද?

පිළිතුර - එතකොට ආශා සෙන්ට්‍රල් හෝස්‌පිටල් එක මගේ. මම ඒ හෝස්‌පිටල් එක මිලියන 1600 කට විකුණුවා. ඒ මුදල් තමයි සයිටම් එකට යෙදෙව්වේ.

ප්‍රශ්නය - සයිටම් පටන් ගත්තේ කුමක්‌ හෝ ගිවිසුමක්‌ ඇතිවද?

පිළිතුර - සයිටම් ආයතනය ආරම්භ කර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ ගිවිසුමක්‌ ඇති කර ගත්තා. සයිටම් සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් හෝමාගම සහ අවිස්‌සාවෙල්ල රෝහල් දෙක එම ගිවිසුම අනුව අපට ලබා දුන්හ. ඒත් 2012 ජුනි මාසයේදී මේ ළමයි සායනික පුහුණුව සඳහා හෝමාගම රෝහලට ගියාම රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරීන්ගේ සංගමය අපේ ළමයින්ව එළවලා දැම්මා. වැඩ වර්ජන කරනවා කිව්වා.

සායනික පුහුණුව නැතිව වෛද්‍ය උපාධිය ලබා ගන්න බැහැ. ඒ අනුව එදාම මම තීරණය කළා රෝහලක්‌ හැදීමට.

ප්‍රශ්නය - රෝහල සඳහා කොපමණ මුදලක්‌ ආයෝජනය කළාද?

පිළිතුර - ඒක විශාල මුදලක්‌. ඒ තරම් මුදලක්‌ මගේ ළඟ තිබුණේ නැහැ. ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 2000 ක ණයක්‌ ගත්තා. ණය ඉල්ලීමට යැමේදී ජවිපෙ සහ ජීඑම්ඕඒ එකෙන් අපට ණය දෙන්න එපා යෑයි ලංකා බැංකුවට දන්වා එවලා තිබුණා. ඒ පිළිබඳව සඳහන් කොළ ලංකා බැංකු ප්‍රධානියාගේ මේසය මත තිබුණා. ඒත් ඔවුන් අපට ණය දුන්නා. ඒ ණය තවමත් පොළියත් සමඟ මසකට රුපියල් මිලියන 50 බැගින් ගෙවනවා.

ප්‍රශ්නය - සයිටම් ආයතනය යනු විශ්වවිද්‍යාලයක්‌. විශ්වවිද්‍යාලයට එන්නේ ළමයි. නෙවිල් ප්‍රනාන්දු රෝහලට එන්නේ රෝගීන්. මුදල් ඉපැයීමට ඇයි ළමයි සහ රෝගීන් තෝරා ගත්තේ?

පිළිතුර - මම මේ දේවල් කළේ සල්ලි හම්බ කරන්න නොවේ. දැනටමත් සයිටම් සිසුන්ගෙන් 1/3 කට පමණ නොමිලේ ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව දීලා තිබෙනවා. එහි වටිනාකම මිලියන 550 ක්‌. සල්ලි හම්බ කරන්න ඕනෑ නම් මට කැසිනෝ එකක්‌ දාන්න තිබුණා. කැම්පස්‌ දාලා ශිෂ්‍යත්ව දෙන්න ඕනෑ නැහැනේ. ඇපල් වතු ගන්න තිබුණා. ඒත් සද්භවයෙන් කරපු දේවල්වලට අසත්පුරුෂයෝ ගල් ගසනවා.

ප්‍රශ්නය - සයිටම් විශ්වවිද්‍යාලයේ දැනට කොපමණ ළමුන් පිරිසක්‌ ඉන්නවාද?

පිළිතුර - දැනට දහසක්‌ පමණ සිටිනවා.

ප්‍රශ්නය - ඔබ ඔවුන්ගේ අනාගතය ගැන වගකියනවාද?

පිළිතුර - සියයට සියයක්‌ම. ඒ ගැන මම සහතික වෙනවා. නීත්‍යානුකූල ලෙස ඔවුන්ට වෛද්‍ය උපාධිය ලබා දෙනවා. වෛද්‍යවරු ලෙස වැඩ කිරීමට අවස්‌ථාව ලබා දෙනවා. ඒ නිසා ළමයි කවුරුවත් බය වෙන්න අවශ්‍ය නැහැ. අපි ඔවුන්ගේ අනාගතය අනතුරේ හෙළන්නේ නැහැ.

ප්‍රශ්නය - ඒත් සයිටම් වෛද්‍ය උපාධිය වහාම නතර කරන්න යෑයි සියලුම වෛද්‍ය පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

පිළිතුර - ඒක යෝජනාවක්‌ විතරයි. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙකුට ඕන යෝජනාවක්‌ ගේන්න පුළුවන්.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඔබේ මිතුරෙක්‌ද?

පිළිතුර - නැහැ. අපි දෙන්නා එකම කාලයේදී වෛද්‍ය විද්‍යාලයේ හිටියේ. එකම නේවාසිකාගාරයේ. ඔහු මට වඩා වයස අවුරුදු 2 ක්‌ පමණ බාලයි. ඔහු සමඟ මගේ එදාත් අදත් මිත්‍රතත්වයක්‌ නැහැ. ඒ වගේම ඔහුගේ වෛද්‍ය සභාව ගැනවත් පැහැදීමක්‌ නැහැ. අද එකක්‌ කියනවා. හෙට තව එකක්‌ කියනවා.

ප්‍රශ්නය - පසුගිය ආණ්‌ඩුවෙන් සයිටම් වෙත ලැබුණු අනුග්‍රහය ප්‍රමාණවත්ද?

පිළිතුර - ඔව්. හොඳ සහයෝගයක්‌ ලැබුණා. එස්‌. බී. දිසානායක ඇමැතිවරයා අපි වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි මහින්ද රාජපක්‌ෂ මහත්තයා සයිටම් ශිෂ්‍යත්ව ලබා දුන්නා කියන කතාව බොරු. අපියි එම ශිෂ්‍යත්ව ලබා දුන්නේ. මහින්ද මහත්තයා කළේ ඒ ශිෂ්‍යත්ව පිරිනමනු එක පමණයි. තඹ සතයක්‌ මුදලක්‌ ඒ ආණ්‌ඩුවෙන් සයිටම් ශිෂ්‍යත්ව සඳහා ලබා දුන්නේ නැහැ.

ප්‍රශ්නය - සයිටම් ආයතනය සඳහා ආයෝජන මණ්‌ඩලයෙන් අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව ගැටලුවක්‌ තිබෙනවා නේද?

පිළිතුර - "හෙල්ත් සයන්ස්‌" යටතේ අපි ඒ සඳහා අවසර ලබා ගත්තා. "මෙඩිසින්" යටතේ නොවේ. "හෙල්ත් සයන්ස්‌" යටතේ විෂයයන් 100 ක්‌ පමණ තිබෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලය තිබෙන්නේත් "ෆැකල්ටි ඔෆ් හෙල්ත් සයන්ස්‌" යටතේ. ජයවර්ධනපුර තිබෙන්නෙත් "ෆැකල්ටි ඔෆ් මෙඩිකල් සයන්ස්‌" කියලා. එංගලන්තයේ සහ කැනඩාවේත් විශ්වවිද්‍යාල තිබෙනවා "හෙල්ත් සයන්ස්‌" යටතේ ලියාපදිංචි වී එම්බීබීඑස්‌ උපාධිය ලබා දෙන. අපට විතරක්‌ ඒ සඳහා අයිතිය නැත්තේ ඇයි? අපෙන් විතරක්‌ ඇයි "මෙඩිසින්" අහන්නේ?

ප්‍රශ්නය - ඒත් වරද වහගන්න ඔබ පසුව විශ්වවිද්‍යාලයේ නමත් වෙනස්‌ කරා.

පිළිතුර - මේක පටන් ගත්තේ "සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔප් මැනේඡ්මන්ට්‌" කියලා. ඒකෙ " මැනේඡ්මන්ට්‌" වෙනුවට "මෙඩිසින්" කියලා නම වෙනස්‌ කළා. අපට වහන්න වරදක්‌ තිබුණේ නැහැ. ඕනෑම සී/ස සමාගමකට අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ තීරණය අනුව නම මාරු කරන්න පුළුවන්. නීත්‍යානුකූලවයි අපි මේවා කළේ.

ප්‍රශ්නය - ඔබ වෛද්‍යවරයකු වන්නේ මොන වර්ෂයේ ද?

පිළිතුර - 1958 වසරේදි මම එම්. බී. බී. එස්‌ උපාධිය ලබා ගන්නවා. ඊට පසුව පානදුර මූලික රෝහලට සම්බන්ධව කටයුතු කරනවා. ඒත් වසරක පමණ කාලයක්‌ තුළ මට රජයේ රෝහල්වල සේවය කිරීම එපා වෙනවා. ඒ අනුව මම මගේම කියලා වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පානදුරේ ආරම්භ කිරීමට කටයුතු කළා. රෑ නිදිවරාගෙන අපි ඒ කාලයේ වැඩ කළා. මුදල් බැලුවේ නැහැ. තරුණ වෛද්‍යවරයකු ලෙස රාත්‍රි සේවා මුරයන් මා වෙත පැවරී තිබුණා. පෞද්ගලික සේවයේ යෙදෙන විට එකල රෝගීන් ගෙන් අය කළේ රුපියල් 2.50 යි. ගෙදරට ගිහින් ප්‍රතිකාර කිරීමට රුපියල් 5.00 ක්‌ ගත්තා.

ප්‍රශ්නය - දේශපාලනඥයකු වීමට සිහින මැව්වද?

පිළිතුර - නැහැ, ඒත් 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. පානදුරේ හිටපු මන්ත්‍රී ප්‍රවාහන ඇමැති ලෙස්‌ලි ගුණවර්ධන මහතා ඡන්ද දසදහසකින් පරාජය කර මම පාර්ලිමේනතුවට තේරී පත් වුණා. ඡන්ද 27000 ක්‌ මට ලැබුණා. මගේ ඡන්ද පදනම වුණේ අසරණ රෝගීන්ට මං කළ සේවයයි. ගොඩක්‌ දුප්පත් රෝගීන් ගෙන් මං මුදල් අයකරේ නැහැ. පූජ්‍ය පක්‌ෂයෙන් මුදල් අයකරන්නේ නැහැ. ඒ සියලු දෙනා එකතු වෙලා මාව පාර්ලිමේන්තුවට යෑව්වා.

ප්‍රශ්නය - දේශපාලනයයි වෙදකමයි එකට කරගෙන ආවේ කොහොමද?

පිළිතුර - මේ දෙකම එකට කරන්න බැරි බව මට තේරුම් ගියා. 1978 දී පමණ මම වෙදකමට සමු දුන්නා.

ප්‍රශ්නය - දේශපාලනයේ කොතරම් කල් රැඳී සිටියද ?

පිළිතුර - 1977 දී එජාපයෙන් දේශපාලනයට ඇවිත් 1994 දී ශ්‍රීලනිපයෙන් දේශපාලනයට සමු දුන්නා. එතකන් පාර්ලිමේන්තුවේ හිටියා. 1981 හෝ 82 වසරේදි මාව එජාපයෙන් නෙරපෙව්ව. ඒ ඡේ. ආර්. ජයවර්ධන මහතාව විවේචනය කරමින් කරපු ප්‍රකාශයක්‌ නිසා. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට රට පාලනය කරන්න බැරි නම් ගෙදර යන්න කියලා පානදුරේ රැස්‌වීමකදී මං කිව්වා. එම ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්න යෑයි මට පක්‌ෂයෙන් කිව්වා. මං කිව්වා පාර්ලිමේන්තුවෙන් එලෙව්වත් ඒ ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නේ නැහැ කියලා. පසුව මාව පක්‌ෂයෙන් ඉවත් කිරීමට යෝජනාවක්‌ ගෙනාවා. ඉල්ලා අස්‌වීමේ ලිපිය දීලා මම එළියට බැස්‌සා.

ඊට පසුව මැතිනියගේ ආරාධනාව අනුව ශ්‍රීලනිපයට සම්බන්ධ වුණා. මාව මධ්‍යම කාරක සභාවටත් බඳවා ගත්තා. මටත්, මහින්ද රාජපක්‌ෂ මහතාටත් නියෝජ්‍ය ලේකම් තනතුරු භාර දුන්නා. 1982 ජනමත විචාරණයේදී ශ්‍රීලනිපයට ඡන්ද 50000 ක්‌ පමණ මම පානදුරෙන් ලබාදුන්නා. 88 දී පැවති ජනාධිපතිවරණයේදී මාව ඝාතනය කිරීමට කටයුතු කළා. එම ඡන්ද දිනයට කලින් දිනයේ මම මැතිවරණ කටයුතු කරමින් නිවසේ සිටියදී කවුදොa වෙඩි තියනවා යෑයි මගේ ලේකම් මාව ගේ ඇතුළට අරන් ගියා. දවල් 11.00 ට විතර ඇති එළියට ඇවිත් බලනකොට මගේ උදව්කරුවන් 8 දෙනකු මරා දාලා තිබුණා. ලේ විලයි. විඡේවීරගේ සමයංකාරයෝ තමයි එදා ඒ ඝාතනයන් කළේ. එදාම ඔවුන් සුමේධා ජයසේන මහත්මියගේ ස්‌වාමිපුරුෂයාවත්, අමරා පියසීලි රත්නායක මහත්මියගේ ස්‌වාමිපුරුෂයාවත් ඇතුළු ප්‍රබල ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසක්‌ මරා දමා තිබුණා. මගේ ජීවිතය අනූනවයෙන් බේරුණා.

ඒ වගේ කුරිරු ඉතිහාසයක්‌ තමයි ජනතා විමුක්‌ති පෙරමුණට තිබෙන්නේ. අද ඔවුන් කපටි "සූට්‌" ඇඳ ගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා තිබෙනවා.

ප්‍රශ්නය - සයිටම් විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ සූදානමක්‌ තිබෙනවාද?

පිළිතුර - නැහැ. කවදාවත් පවරා ගන්නේ නැහැ. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට දීලා තිබෙනවා. රජයේ සහ පෞද්ගලික යන දෙපාර්ශ්වය සම්බන්ධ ආයතනයක්‌ ලෙසට. හැබැයි සයිටම් එක තියා ගන්නවා. පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කිරීමට රජයටත් අවශ්‍යයි. මගේ පරමාර්ථය නම් පුළුවන් තරම් වෛද්‍යවරු බිහි කරලා ජීඑම්ඕඒ එකේ බලය නැති කරලා දැමීමයි. මොන ආණ්‌ඩුව ආවත් ජීඑම්ඕඒ ඒක ස්‌ට්‍රයික්‌ කරනවා කියලා ආණ්‌ඩු බය කරනවා. මේ දුෂ්ඨ බලය නැති කරන්න ඕන. කිරිඇල්ල ඇමැතිතුමා කියලා තිබෙනවා තව පෞද්ගලික විශ්වවිද්‍යාල 5 ක්‌ පමණ ඇති කරන බවට. මෙහෙ ඒ අයට රස්‌සා නැත්නම් වෙන රටවල්වලින් හරි රස්‌සා හොයා ගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඒත් සයිටම් විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව තවමත් ප්‍රශ්න තිබෙනවා. ඔබ ඔබේ ප්‍රමිතිය හදා ගන්නෙ නැතිව අනෙක්‌ අයට දොස්‌ පැවරීම හරිද?

පිළිතුර - අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න කථිකාචාර්යවරු, මහාචාර්යවරු තරම් උසස්‌ ගණයේ පිරිසක්‌ රජයේ විශ්වවිද්‍යාලවලත් නැහැ. මඩකලපුවේ නැහැ. රජරට නැහැ. රජරට විශ්වවිද්‍යාලයට අපේ මහාචාර්යවරයෙක්‌ හැම සතියෙම උගන්වන්න යනවා.

ප්‍රශ්නය - රුසියානු විශ්වවිද්‍යාලයක්‌ද සම්බන්ධ කරගෙන සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භය කළ බව ප්‍රකාශ වුණා. ඒත් විරුද්ධවාදීන් කියන්නේ එහෙම සම්බන්ධයක්‌ නැති බවයි.

පිළිතුර - අදටත් ඒ සම්බන්ධතාවය තිබෙනවා. රුසියානු විශ්වවිද්‍යාලය සමඟ තිබෙන ගිවිසුම අදටත් ක්‍රියාත්මකයි. සයිටම් එකට ආයෝජන මණ්‌ඩලයේ අනුමතිය ලබා ගැනීම සඳහා පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක්‌ සමඟ සම්බන්ධ වෙන ලෙස අපට දැනුම් දුන්නා. රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු පැමිණ තමයි අපේ විශ්වවිද්‍යාලයේ විභාග පවත්වන්නේ.

ප්‍රශ්නය - රජයෙන් ඔබ ආයතනය බලාපොරොත්තු වෙන්නේ කුමක්‌ද?

පිළිතුර - අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කර අපේ ශිෂ්‍යයන්ට සාධාරණය ඉටු කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ වගේම රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ටත් අපේ විශ්වවිද්‍යාල සිසුන්ටත් එකම විභාගයක්‌ පිළිගත් ආකාරයෙන් පවත්වන්න. කාගෙවත් අතකොළු නොවී ඒ අයිතිය අපට ලබා දෙන්න.

 
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post