කච්චතිව් මංගල්‍යය මහ ඉහළින්

0 Mar 13, 2017 10.31am Gossip

වාර්ෂිකව පැවැත්වෙන කච්චතිව් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන හත්වෙනි මංගල්‍ය උළෙල රටපුරා විසිරී සිටින කිතුනු මෙන්ම කිතුනු නොවන බැතිමතුන් 6000 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (12) දෙව්මැදුරේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

වර්ග කිලෝ මීටර් 1.15 ක වපසරියකින් යුත් මේ කච්චතිව් දූපතේ එකම ස්ථිර ගොඩනැගිල්ල ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ට කැප වූ දේවස්ථානයයි.

මෙවර මංගල්‍ය උළෙල සුවිශේෂිවීමටද ඒ එකම ගොඩනැගිල්ල සමත්විය. දර්ශනීය මෙන්ම අංගසම්පූර්ණ ලෙස ප්‍රතිනිර්මාණය වූ එම ගොඩනැගිල්ලේ සිදුකළ මංගල දිව්‍ය මෙහෙය මෙවර සිදුකෙරිණි.  කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර විවිධ මතිමතාන්තර තිබුණත් එහි භූමියේ අයිතිය නිරවුල්ව ශ්‍රී ලංකාවට හිමිවී ඇතැයි යන්න ඉතිහාසය පෙන්වා දෙයි.

මුහුදු සීමාවන් පිළිබඳ වූ යම් යම් අදහස් උදහස් මත මේ අයිතිය පිළිබඳ අදහස් ගොඩනැගුණේද මුළු බිමේ අයිතිය පිළිබඳව අවිවාදාත්මක මතයකට එළඹෙන්නේ මේ කොටසේ භාරකාරත්වය උසුලන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුවිශේෂී කාර්යභාරය හරහා 2011 වසරේ සිට මේ මංගල්‍ය උළෙල උත්කර්ෂවත්ව භක්තිපූර්වකව ගාම්භීරත්වයෙන් පැවතීම නිසයි.

මෙවර උළෙලටද එහි බැතිබර ගෞරවාන්විත වටපිටාව සර්වප්‍රකාරයෙන්ම ලබාදීමට නාවික හමුදාව මාහැඟි කාර්යභාරයක් ඉටුකර තිබිණි. පසුගිය වසරේ මංගල්‍ය උළෙල අවස්ථාවේදී දිව්‍ය යාගය පැවැත්වීමට එක්වී යාපනය රදගුරු හිමිපාණන් විසින් ඉල්ලා තිබූ දේවස්ථානය පිළිසකර කර අංගසම්පූර්ණ කිරීම නාවික හමුදාව විසින් ඉතාම ඉහළින් සිදුකර පසුගිය දෙසැම්බර් මස 23 දින කිතුණු සභාවට පිළිගන්වා තිබිණි.

ඉයේ 12දා වාර්ෂික ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍ය සිදුවූයේද යාපනය පදවි අනුනායක යස්ටින් ඥාන ප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා උතුරුකරයේ දෙව්මැදුම් මීසම්පතිවරුන්ගේ දායකත්වයෙන් එම අලංකාර දෙව්මැදුර කේන්ද්‍රකොටගෙනය.

එම උළෙලට ගාම්භීරත්වයෙන් එක්වූයේ මේ මහඟු කාර්යභාරයේ නියමුවා වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේත් උතුරු නාවික ආඥාපති ප්‍රියාල් ද සිල්වා ඇතුළු නාවික හමුදාවේ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා කාර්ය මණ්ඩලයේ පොලිසියේ සහභාගිත්වයෙනි.

2017 වසරේ උළෙල තවත් සුවිශේෂී වූයේ උතුරු දමිල ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනතාවගේ විශාල සහභාගිත්වයෙනි. හේතුවක වරද නිවැරැදිද කෙසේ වූවද තමිල්නාඩු ධීවර ජනතාවගේ සහභාගිත්වය දක්නට නොලැබුණද එය අඩුවක් ලෙස මෙහිදී දිස්නොවූයේ දේශීය ජන සහභාගිත්වය අතිවිශාල වීමෙනි.

එසේම එම සහභාගිත්වය ජාතිය, භාෂාව, ආගම, කුලය බාධාවක් නොවූ සැටි දැඩි භක්ත්‍යාදරයෙන් එකාවන්ව මේ සුවිශේෂී ආගමික මෙහෙයට එක්ව සිටි අයුරු නෙත ගැටෙද්දීය. දිව්‍ය පූජාව යාපනය පදවි අනුනායක හිමිපාණන් ප්‍රමුඛ පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් උත්කර්ෂවත් ලෙස ඉටුකෙරුණු අතර අනුනායක හිමිපාණෝ මෙවැනි විශාල කාර්යභාරයකට අත හිත දෙන නාවික හමුදාව ප්‍රධාන සියලු පාර්ශවයන්ට සිය කෘතඥතාවය පළකිරීමට අමතක නොකළහ.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post