එන්නතක් දීමෙන් පසු තිදරු මව මියයයි

0 Mar 13, 2017 10.24am Gossip

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ශල්‍යකර්මයක් සඳහා ඇතුළත් කළ වයස අවුරුදු 25ක් වූ තිදරු මවක් ශල්‍යකර්මයට විනාඩි 30 කට පමණ පෙර එන්නත් හා ඖෂධ ලබා දීමෙන් පසු හදිසියේ මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.සිද්ධියෙන් පසු මියගිය කතගේ ඥාතීන් අදාළ ‍රෝහල වටලා නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා පොලීසිය එහි පැමිණ රෝහලට විශේෂ ආරක්ෂාවක් සපයා ඇත.

මළ මාර්ගයේ සැත්කමක් සිදු කිරීමට අදාළ කාන්තාව රෝහලට ඇතුළත්ව ඇතත් රෝහලේ කිසිදු ලියාපදිංචියක් හෝ නොකර ඇයව සැත්කම සඳහා යොමුකළ බව මියගිය කතගේ ඥාතීහූ පවසති.

මෙසේ මියගොස් ඇත්තේ සුදුහුම්පොළ මුල්ගම්පොළ පදිංචි ෆාතිමා උම්මා නමැති කාන්තාවකි. ඇයට අවුරුදු 3, 4 හා 6 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු සිටින බව පොලීසිය පවසයි.

තම බිරියට පෙරේදා (11) රාත්‍රී 9.00 ට පමණ හදිසියේ අසනීප වීම නිසා ඇයව රාත්‍රීයේම ප්‍රතිකාර සඳහා රැගෙන ගිය බවත් එහිදී ඇයව පරීක්ෂා කර බලා ප්‍රතිකාර කර රුපියල් 5000ක මුදලක් ලබාගත් වෛද්‍යවරයා ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා පසුදින රෝහල් ගතවන ලෙස දැනුම් දුන් බවත් මියගිය කාන්තාවගේ සැමියා වන එම්.ඉර්ෂාඩ් මහතා පැවැසීය.

පසුදින (12) වෛද්‍යවරයාගේ උපදෙස් මත මහයියාවේ පිහිටි පෞද්ගලික රෝහලට ගිය බවත් එහිදී රෝගීයා ලියාපදිංචි හෝ නොකර රුපියල් 20000ක මුදලක් රෝහල් බලධාරීන් තමන් ගෙන් ලබාගත් බවත් ඔහු කීය.

මෙම කාන්තාවට සිදු කිරීමට නියමිතව තිබුණේ මළ මාර්ගයේ සුළු ශල්‍යකර්මයක් බවත් ඒ සඳහා පෙරවරු 9.00ට පමණ ඇයට මත් ගතිය ඇතිවීම පිණිස හා හිරිවැටීම පිණිස ඖෂධ වර්ග දෙකක් ලබාදුන් බවත් එහි අහිතකර ප්‍රතික්‍රියාවකින් මරණය සිදුවන්නට ඇති බවට සැකකරන බවත් වෛද්‍යවරයා පැවැසීය.

‍රෝහලේ ප්‍රතිකාර සඳහා යන වියදම පාලනය කිරීම සඳහා රෝගීයා වාට්ටුවකට ඇතුළත් නොකර ශල්‍යාගාරයට ගත් බවත් එහි ප්‍රතිකාර ලබාදී පැය කිහිපයක් තුළ ඇයව නිවසට යැවීමට හැකි වෙතැයි තමන් කල්පනා කළ බවත් වෛද්‍යවරයා කීවේය.

මෙවැනි තත්ත්වයක් කලාතුරකින් සිදුවිය හැකි බවත් තමන් වගකීමෙන් පලා යෑමට කිසිවිටකත් සූදානම් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර කටුගස්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post