ජිනීවා යෝජනාවත් කොමසාරිස් වාර්තාවත් දෙකක්

0 Mar 09, 2017 09.30am Gossip

ජිනීවා යෝජනාව සහ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව යනු දෙකක් බවත් එය පටලවාගෙන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු සහ පුද්ගලයෝ ජනතාව වැරැදි මාර්ගයකට යොමු කිරීමට උත්සාහ දරන බවත් වැඩබලන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි. වාර්තාවක් ඉදිරිපත් කළ පමණින් වාර්තාව ක්‍රියාත්මක කිරීමට ස්වෛරී රාජ්‍යයන් බැදී නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි. පොලී අනුපාතය එක තැනක තබාගෙන ටෙම්පල්ටන් අරමුදලේ මුදල් ලබා ගත්තේ එවකට සිටි රජයේ පාලකයන් හා එවකට මහ බැංකුවේ සිටි පුද්ගලයන් බව ද මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා සොයා බැලිය යුතු යැයි ද හෙතෙම පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පෙන්වා‍ දුන්නේ රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා ජිනීවා නුවර දී ශ්‍රී ලංකාව 2015 ඔක්තෝම්බර් මාසයේ සම අනුග්‍රහය දක්වන ලද යෝජනාව 30-1 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නැවතත් සම අනුග්‍රහය දක්වන බවට දන්වා තිබෙන බවත් කිසිම අයුරකින් ඒ යෝජනාවට නව යෝජනා අඩංගු නොකර සම අනුග්‍රහය දැක් වූ කාරණා තව අවුරුදු දෙකක් ඉදිරියට රැගෙන ගොස් ජිනීවාවල දී මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න අමෙරිකාව මහා බ්‍රිතාන්‍ය ඇතුළු එවකට සම අනුග්‍රහය දැක් වූ රටවල් සමඟ ඉදිරිපත්ව තිබෙන බවත්ය. හයිබ්‍රිඩ් අධිකරණයක්, විදේශ විනිසුරුවන් ගෙන එන අලුත් දේවල් කිසිවක් ඇතුළත් කර නොමැති බව පෙන්වාදුන් ඒ මහතා ඒවා අසත්‍ය බව ද 30-1 තිබුණු කාරණාවලට අමතරව කිසිඳු කාරණාවක් මේ යෝජනාවේ ඇතුළත් වී නොමැති බව ද පැවසීය. කිසිඳු අලුත් යෝජනාවකට එකඟ වෙලා නැතැයි ද හයිබ්‍රිඩ් අධිකරණ කියන කතාව, විදේශ විනිසුරුවෝ අධිකරණයේ වාඩිවෙලා ඉන්න ඕන කියන කතා ගිවිසුමේ කිසිම තැනැක ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.

ඒ යෝජනාවට සියලු රටවල් අපේ ප්‍රගතිය අගය කර තිබෙන අතර බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, මැසඩෝනියාව, මොන්ටෙනේග්‍රෝ ඔවුන් තම මූලික සම අනුග්‍රහය දක්වා තිබෙන බව ද මීළඟට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, යුරෝපා සංගමය, කැනඩාව, දකුණු කොරියාව, අයර්ලන්තය, බංගලාදේශය, ස්වීඩනය, පාකිස්තානය, එස්තෝනියාව, චීනය, ඩෙන්මාර්කය, නවසීලන්තය, නෙදර්ලන්තය, බෙල්ජියම යනා දී වශයෙන් සියලුම රටවල් අපේ ස්ථාවරයේ ඉන්න බව ද වැඩබලන ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අවස්ථාවේ දී නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන අපෙන් ප්‍රශ්න අසා තිබෙන අතර සියලුම ස්වෛරී රාජ්‍යයන් අපිත් එක්ක එකට හිටගෙන ඉන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ වැඩපිළිවෙළ කිසි වෙනසක් නොමැතිව කරගෙන ආ අයුරින් කරගෙන යන බව ද මහලේකම්වරයාගේ වාර්තාව කිසිම අවස්ථාවක පිළි අරගෙන නොමැති බව ද ප්‍රකාශ කළේය. ජිනීවා වාර්තාවේ නොයෙකුත් දේ තිබුණාට අපි කියා තිබෙන්නේ එය අධ්‍යයනය කර බව ද සියලු පාර්ශ්වයන් සමඟ කතා කර අපිට සුදුසු වෙලාවක ඒ පිළිබඳව අදහස් දක්වන්නට සූදානම් බව ද පැවැසූ ඒ මහතා ජනාධිපතිවරයා, අගමැතිවරයා එහි සඳහන් සමහර නිර්දේශයන් පිළිබඳ රටේ මතය ඉදිරිපත් කර තිබෙන බව ද ඒ මතය එසේම බව ද කීවේය. අනෙක් කාරණා සම්බන්ධයෙන් හැකි අවස්ථාවක පිළිතුරු සපයන බව ද මේ යෝජනාවට මේ වාර්තාව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ද පැවසීය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ද මේ අවස්ථාවට එක්විය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post