වයඹ ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංගය අස්කර ගනී

0 Mar 08, 2017 11.12am Gossip

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ඊයේ (07) ගෙන ඒමට සූදානම් කර තිබූ විශ්වාසභංගයක් හා සමාන වූ හදිසි හා අත්‍යාවශ්‍ය යෝජනාව, ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ පැය එකහමාරක පමණ සාකච්ඡාවකින් පසු ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා එය වෙනත් දිනයක ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්කර ගත්තේය.

එසේ ඉල්ලා අස්කර ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් ප්‍රධාන ඇමැතිවරයා සභාව ඉදිරියේ දන්වා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ සිට ඊයේ පෙරවරුවෙහි තමාට කථා කරමින් මේ යෝජනාව ඉවත්කර ගන්නා ලෙසට දැනුම්දීම සිදුකළ බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම ආණ්ඩු පක්ෂ කණ්ඩායම වෙත දැනුම් දී මේ යෝජනාව විවාද කිරීමෙන් ඉවත් කර ගන්නා බව ප්‍රධාන ඇමැතිවරයා සභාපතිවරයා වෙත දැනුම්දී සිටියේය.

වයඹ පළාත් සභාව ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වූයේ සභාපති ටිකිරි අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙනි. සභාව ආරම්භයේ සිටම ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ මේ හදිසි හා අත්‍යාවශ්‍ය යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව පැවතියේ කසුකුසුවකි. ජනාධිපතිවරයාගේ පණිවිඩය ලැබීමෙන් පසු යෝජනාව න්‍යායපත්‍රයෙන් ඉවත්වන බවට සැකයක් ආණ්ඩු පක්ෂ කණ්ඩායම තුළ ඇති විය.

ඒ අනුව පෙරවරු 11ට තේ විවේකය සඳහා සභාව කල්තැබීමෙන් පසු ආණ්ඩු පක්ෂ කණ්ඩායම රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, ඒ සඳහා ඔවුනට පැය එකහමාරකට අධික කාලයක් ගතවිය. එහි දී කණ්ඩායම් රැස්වීම තුළ විවිධ හැල හැප්පීම් ද සිදුවී තිබේ. කෙසේ වෙතත් ප්‍රධාන ඇමැතිවරයාගේ අවසාන තීන්දුව අනුව යෝජනාව ඉවත් කර දැම්මේය.

මේ යෝජනාව ගෙන එනු ලැබුවේ ආණ්ඩුකාරවරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීමට හෝ එතුමිය සමඟ පැවති වෛරයකින් නොවන බව ප්‍රධාන ඇමැතිවරයා සභාවට දන්වා සිටියේය. ආණ්ඩුකාරවරියගේ ක්‍රියා කලාපය කෙරෙහි විශ්වාසයක් නැති හෙයින් සභාව තුළ සාකච්ඡා කිරීම සඳහා පමණක් මේ යෝජනාව සකස් කළ බව ද ප්‍රධාන ඇමැතිවරයා කීය.

සභා රැස්වීම අවසන්වීමෙන් පසු විපක්ෂනායක ශමල් සෙනරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ආණ්ඩු පක්ෂයේ පරාජය මේ යෝජනාව තුළින්ම මනාව පැහැදිලි වන බවය. වයඹ ප්‍රධාන ඇමැතිවරයාව අමාරුවේ දැමීම සඳහා ආණ්ඩු පක්ෂ කණ්ඩායම විසින්ම මේ යෝජනාව සකස් කර ඇති බව හොඳින්ම පැහැදිලි වන බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post