GSP සහනයෙන් ඩොලර් බිලියන 1.4කට වැඩි වරප්‍රසාද

0 Jan 13, 2017 09.05am Gossip

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ජී.එස්.පී බදු සහනය අහිමි වී යාමෙන් පසුව එය යළි ලබාදීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ විවිධ කොන්දේසි ඉදිරිපත් කළද වත්මන් ආණ්ඩුව යටතේ එම බදු සහනය යළිත් වරක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තීරණයකර තිබෙන්නේ කිසිඳු කොන්දේසියකට යටත්ව නොවන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත හේතුවෙන් එම සහනය ශ්‍රී ලංකාවට අහිමි වී ගිය නමුත් වත්මන් රජය අනුගමනය කළ සාධණීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජී.එස්.පී බදු සහනය යළිත් වරක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා  පියවර ගෙන තිබෙන බවද එය හිමිවීම සිහිනයක් නොව සැබෑවක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මාස එකහමාරක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදය කිරීමෙන් අනතුරුව ජී.එස්.පී සහනය ශ්‍රී ලංකාවට හිමිවන බවත් එමඟින් ඩොලර් බිලියන 1.4ට වැඩි වරප්‍රසාද අපේ රටට හිමිවන බවත්ය. ඇතැමුන්ට ආර්ථික වාසි සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් විවිධ ප්‍රකාශයන් සිදුකළද මේ මඟින් අපනයන භාණ්ඩ සඳහා සියයට 11ක පමණ බදු විරාමයක් හිමිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කුහක කමින් දේශපාලනය නොකළයුතු බව සඳහන් කළ මුදල් ඇමැතිවරයා ජී.එස්.පී සහනය යළි ශ්‍රී ලංකාවට ලැබීම විශාල ආර්ථික වාසියක් බවද මේ සම්බන්ධයෙන් සහාය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු සියලු පාර්ශවයන්ට ප්‍රණාමය පිරිනමන බවද පැවසූ කරුණානායක මහතා ජනතාව විසින් වත්මන් රජයට ලබාදුන් අවස්ථාවට අනුව රට පාවා නොදී ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත් ජයග්‍රහණයක් බවද කීවේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය දෙකෙන්ම රටේ ජනතාවට සහන සැළසීමට පියවර ගත් බවත් රුපියල අව ප්‍රමාණය වීමට ඉඩ නොදී එය ආරක්ෂා කිරීම වෙනුවෙන් වගකිව යුතු රජයක් ලෙස බැඳී සිටින බවත්ය. රුපියල දුර්වල කිරීම සඳහා ඇතැමුන් ප්‍රයත්න දැරුව ද ඊට ඉඩනොදෙන බව කී ඒ මහතා රුපියලේ අගය සම්බන්ධයෙන් අවබෝධයකින් යුතුව කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙන බව කී ඇමැතිවරයා තරුණ තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවද එහි පළමුවැන්න ලෙස පසුගිය දා රුහුණු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළ බවද පැවසීය. එය හම්බන්තොට වරාය ව්‍යාපෘතිය නොවන නමුත් එහි එක් කොටසක් බවද හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා මේ මස අවසානයට ප්‍රථම අදාළ චීන සමාගම සමඟ ගිවිසුමට එළඹෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

හම්බන්තොට ආයෝජන කටයුතු සඳහා අක්කර 15,000ක ප්‍රමාණයක් හඳුනා ගත්ත ද කිසිඳු නිවෙසක් හෝ වෙහෙර විහාරස්ථානයක් ඉවත් කිරීමට සූදානම් නැතැයි කී මුදල් ඇමැතිවරයා ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කරන බවට මතයක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ ගන්නා බවද පෙන්වා දුන්නේය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post