පුතු සමඟ මිදිගමදී මුහුදට පනී

245 Aug 19, 2014 08.52am Gossip

හඳපානාගල මවක්‌ ආබාධිත
පුතු සමඟ මිදිගමදී මුහුදට පනී
පුතා මියයයි මව බේරෙයි

වැලිගම - රන්ජන් ජයවර්ධන සහ මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

මිදිගම මුහුදු වෙරළ ආසන්න දේනුවල පාලමෙන් තම දරුවා ද වඩාගෙන මුහුදට පැන්න කාන්තාවක සහ දරුවා ධීවරයන් විසින් ගොඩට ගෙන රෝහල්ගත කිරීමේදී එම දරුවා මියගොස්‌ සිට ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

වැල්ලවාය ඇතිලිවැව හඳපානාගල පදිංචිව සිටි පංචල ධනංජය (4 1/2) දරුවා එසේ මියගොස්‌ ඇත. දැනට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව උපතින්ම කිසියම් ආබාධිත තත්ත්වයකින් පසු වූ එම දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව එම මව දැඩි කනස්‌සල්ලෙන් පසුව සිට ඇති බව වාර්තා වෙයි.

පෙරේදා (17 දා) සන්ධ්‍යා කාලයේ තම දරුවා ද සමඟ මුහුදට පැන ඇති මේ මව 32 වැනි වියෙහි පසුවෙයි. ඔවුන් මුහුදෙන් ගොඩගත් ධීවරයන් පිරිස පළමුව දරුවා අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් මියගොස්‌ සිට ඇති දරුවා සිය මව ද සමඟ වැලිගම රෝහලට යවා ඇත.

එහිදී සිහිමුර්ජා තත්ත්වයෙන් පසු වූ දරුවාගේ මව මාතර රෝහලට මාරුකොට යවා ඇති අතර ඇය මේ වන විට පියවි සිහියෙන් පසුවන බව ද පොලිසිය පවසයි. හඳපානාගල වැනි ඈත ප්‍රදේශයක සිට එම මව මිදිගමදී මෙවැනි සිද්ධියකට ලක්‌වීමට හේතුව පොලිසිය තවමත් විමර්ශනය කරමින් සිටියි.

දරුවාගේ දේහය සම්බන්ධ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය මාතර වැඩබලන මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් වැලිගම රෝහලේදී පැවැත්වූ අතර එම දරුවාගේ පියා පැමිණි පසු වැලිගම දිසා රෝහලේදී දේහය පිළිබඳ වෛද්‍ය පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

වැලිගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එන්. කාරියවසම් මහතාගේ අධීක්‍ෂණය මත වැලිගම පොලිස්‌ අපරාධ විමර්ශන අංශ ස්‌ථානාධිපති පො.ප. ලලිත් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදුකරති.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post