දරුවන් එකළොස් දෙනකුගේ පියකු බලු දම්වැලකින් අවුරුද්දක් බැඳලා

177 Aug 18, 2014 05.02pm Gossip

දරුවන් එකළොස් දෙනකුගේ පියකු බලු දම්වැලකින් අවුරුද්දක් බැඳලා
 

පැල්මඩුල්ල - ඉරෝක ගයන්ත පෙරේරා, පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙනිය, බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

පොල් අතු සෙවිලි කළ ඉටිරෙදි ආවරණය කළ අනාරක්‍ෂිත ස්ථානයක් තුළ 86 හැවිරිදි දරුවන් එකළොස් දෙනකුගේ පියකු දම්වැලකින් ගැට ගසා තිබියදී වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්වරයා සහ පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

බලන්ගොඩ වැලිගෙපොල බෙලිමාලියද්ද ගමේ නිවෙසක් අසල ස්ථානයක මෙම පියා ගැට ගසා තිබුණු අතර සුනඛයන් බැඳීමට යොදා ගන්නා අඩි 3ක් දිග දම්වැලක් වම් පාදයට දමා ඉබි යතුරු දමා එහි අනෙක් කෙළවර කොටසකට සවිකර ඇණ ගසා තිබිණි. වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් එච්.ඒ.එම්. බණ්ඩාර මහතාට දුරකතන ඇමතුමකින් ලද තොරතුරක් මත බ්‍රහස්පතින්දා (14දා) පස්වරු පහට පමණ මෙම වියපත් පියා සොයා ගෙන තිබේ. මාස 11ක පමණ කාලයක මේ අසරණ පියා මෙලෙස බැඳ දමා තිබෙන්නට ඇතැයි සැක කෙරෙන අතර, තමා කොපමණ කාලයක් බැඳ දමා තිබුණේ දැයි පැවැසීමට 86 හැවිරිදි පියාට සිහිකල්පනාව නොතිබිණි.

කෙසේ වෙතත් මේ මහලු පුද්ගලයා මීට ටික කලෙකට ඉහත දී ගහකින් වැටීම නිසා කොන්ද ප්‍රදේශයේ ආබාධ තත්ත්වයකින් පසුවන බවත් ඒ හේතුවෙන් සිහි කල්පනාව අඩු තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වන නමුත් ඔහු මානසික රෝග තත්ත්වයකින් පසු නොවෙතැයි වෛද්‍යවරු පවසති. සිහිකල්පනාව මඳ බව නිසා දහවල් කාලයේදී නිවෙසින් පිට තැනකට ඇවිදින නිසා මෙලෙස දහවල් කාලයේදී දම්වැලකින් බැඳ දමා රාත්‍රි කාලයේ නිදහස් කර මහලු පියා නිවෙසට ගැනීමට කටයුතු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ දියණියක සහ බෑනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සිකුරාදා (15දා) බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙලෙස බැඳ දමා තිබූ වියපත් පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ ඔහු මීට මාස කිහිපයකට පෙර නිවෙසින් පිටව ගොස් අතුරුදන්ව සිට ඇති බවත්, පසුව සොයා ගැනීමෙන් අනතුරුව මෙලෙස දම්වැලකින් බැඳ දැමූ බවත්ය.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post