පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

0 Jun 10, 2020 08.59am Art

ඈට තියෙන්නේ ගීතවත් ආදරණීය හඬක්. දශක ගණනාවක් තිස්සේ මේ ආදරණීය හඬින් ඈ අප නලවනවා. ඈ මේ ක්ෂේත‍්‍රයට පැමිණියේ ඉතාම ලාබාල අවදියකදි. ළමා සාරියකින් සැරසුණු ඈ ඒ කාලේ ගීත ගැයුව හැටි අපට තාමත් මතකයි. ඇය චම්පා කල්හාරි ජයසේකර.
 
 පසුගිය වසරකට ආසන්න කාලයක් පුරා ඈ හිටියේ නිහඬ වෙලා. ඒකට හේතුවක් තිබුණා. හදිසි වැටිමක් නිසාවෙන් ඇගේ කකුලේ අස්ථියක් බිඳිම නිසා ඇය ඇඳටම වෙලා හිටියා. චම්පා කියන්නේ ඉතාම සවි සම්පන්න ධනාත්මක චින්තනයකින් ජීවිතේ දිහා බලන කෙනෙක්. ඒ නිසාම ඇය රෝගීව සිටි අවදිය පුරා තමන් රෝගියෙක්ය කියන අදහසින් තමන්ගේ ආදරණිය රසික රසිකාවියන් වත් ඈ දෙස බලනවට කැමැති වුණේ නෑ. ඒ හින්දම මාධ්‍ය මිතුරන්ගෙන් ලැබුණු ඉල්ලිම් වලටවත් ඇය කන් දුන්නේ නෑ. දැන් ඇය සම්පූර්ණයෙන් සුවය ලබලා පෙර පුරුදු විදියට ඇගේ ගමන යනවා. ඒ නිසාම ඇගේ නව තොරතුරු පිළිබඳ කතා බහකට පසුගිය දිනක අපි ඇය ඇමතුවා.
 
 ”ඇත්තටම පසුගිය කාලය පුරා කකුල කැඩිලා හිටපු නිසා නව නිර්මාණ කරන්න නම් ඉඩක් තිබුණෙ නෑ. ඉන් පස්සේ අලූ‍ත් නිර්මාණයක් කරන්න සුදානම් කරගෙන ඉන්න කොට තමයි කොරෝනා වසංගතයෙන් රට වෙලා ගත්තේ.ඒ සින්දුව පියල් ජයශාන්ත ලිව්වේ. මේ තත්ත්වය රටෙන් තරමක් දුරට හෝ තුරන් වුණාම නැවත ඒ ගැන හිතා බලනවා. ඇත්තටම මේ තියෙන වතාවරණය නිර්මාණ ගැන හිතන්න පුළුවන් කාලයක් නොවෙයි. ඉස්සරලම අපි මේ තත්වයෙන් රට මුදා ගන්න ඕන.ඊට පස්සේ නිර්මාණ ගැන බලමු.”
 
 කල්හාරිට කවදත් නිර්මානකරණයේ යෙදෙන්න හදිස්සියක් හෝ අති ධාවනකාරි ගමනක් හෝ තිබුණු කෙනෙක් නොවෙයි.ඈ මේ ක්ෂේත‍්‍රයට පැමිණෙන්නේ අවුරුදු එකොළහක් වැනි ඉතාම ලාබාල වයසකදි. දැන් ඈ මේ ගමන් මඟ දිගේ බොහෝ දුර ගමනක් ඇවිදින්.ජීවන ගමන් මෙඟ්ත් දශක හතරක් පසු කරනවා කියන්නේ ලේසි පාසු කාරියක් නොවෙයි. එදිනෙදා විඳින ජිවන අත්දැකීම් මෙන්ම වෘත්තීය අත්දැකිම් සමුදායකින් ඇය පරි පෝෂිතයි.
 
 ”මම ක්ෂේත‍්‍රයට ආව දා ඉඳන්ම මට ගැලපෙන නිර්මාණ කළා. මගේ ජිවිතේ කවදාවත්ම අනේ මට මේක කරන්න බැරි වුණානේ අරක කරන්න බැරි වුණානේ කියලා කිසිම පසුතැවිල්ලක් නෑ.මම උත්පත්තිය ලබන්නෙම සංගිතය පිළිබඳ නිබඳ පරිසරයක අරුමය අරගෙන. මම සෙල්ලම් කරන වයසෙදි ඉඳන් තමයි ගීත ගායනා කරන්න පටන් ගත්තේ මට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. ඒ වගේම හොඳ සංගීත අධ්‍යාපනයක් ලැබුණා.පුංචි කාලේ ඉඳන්ම හින්දි චිත‍්‍රපට බැලූ‍වා ඒවට ආස වුණා. ඒවයේ ගීත ගායනා කළා. එහෙම ආපු මේ ගමන දිහා අද වුණත් හැරිලා බලන කොට මේ ඉන්න තැන ගැන මට ලොකු සතුටක් තියෙනවා”
 
 කල්හාරි ගේ පියා එච් .ඩි. එස් ජයසේකර ප‍්‍රවීණ සංගීතඥයෙක් . සංගීතය පිළිබඳ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්.ඉතින් ඈට සංගීතය අරුමයක් වෙන්නේ කොහොමද?ඇය 1980 දි ලතා මංගේෂ්කාර් භාරත ගීත කෝකිලාවිය ගායනා කළ” ශ‍්‍රී ලංකා මා ප‍්‍රියාදර ජයභූමි” ගීතය ගයනු දැක ඇය ගුවන්විදුලියේ ළමා පිටියට තෝරා ගත්තා.සිංහල මෙන්ම හින්දි ගීත ගායනයේදිත් ඇය දැක්වූයේ පුදුම තරම් දක්ෂතාවයක්. මේ දක්ෂතාවයත් එක්කම ඇය ශාස්ත‍්‍රීය ගායනය සංගිත් නිපුන් දක්වා භාරතයට ගොස් මනා ලෙස හදාරනවා. මේ සියල්ලම ඇයට මේසා දුර ගමනක් එන්න ඉවහල් වෙනවා. ඒත් මේ කිසිවකින් ඈ කවදත් හිස උදුම්මා ගත් තැනැත්තියක නොවිම තමයි ඇගේ තිබෙන සුවිශේෂිත්වය. ඈ තාමත් අපි එදා දුටු චම්පා කල්හාරිම තමයි.
 
 භාරතීය හින්දි ගීතයක රසය ඈ එහි මුල් මිහිර බිඳුවක් වත් විනාශ නොකොට ඇගේ හඬින් අපට අහන්න සැලැස්සුවා. හින්දි භාෂාව පිළිබඳ ඈ සතු මනා දැනීමත්, උත්තර භාරතීය රාගධාරී සංගීතය පිළිබඳ ඇ සතු වන්නා වූ දැනුමත් පුහුණුවත් මේ මිහිර උපරිමයෙන් ශ‍්‍රාවකයන්ට ලබා දෙන්න හේතුවක් වුණා කියලා මට විශ්වාසයි. හින්දි ගීතයෙන්මුළු රටක්ම නැලවුවා වගේම ඇගේ ස්වතන්ත‍්‍ර ගීත ද අතිශය රමණීයයි.මේ වෙලාවේ මට මතක් වෙනවා ඒ කාලේ අපි ප‍්‍රිය කරපු ඇගේ මේ ගීතය
 
 ”මල් යායේ සමනල්ලූ‍ පාලූ‍ වී ගිහින්
 
 ඉස්කෝලේ අද අන්තිම දවසයි අපේ.....”
 
 ඒ වගේම ඇගේ ගීත අතර යෞවනය මැනවින් දනවන ආදරය පිරුණ ගීතයක් මේ විදියට මතක් වෙනවා
 
 ජිවිතේට අරුණ උදාවෙයි..
 
 යොවුන් හැඟු‍ම් දෝරෙ ගලා යයි...
 
 බොහෝ දෙනෙක් කතා කරන්නේ ඇගේ හින්දි ගීත ගායනය ගැන වුවත්, එසේම අපිට වැඩිපුර ඇසෙන්නේ හින්දි ගීත වුණත් මේ නිර්මාණ කොයි තරම් අපූරුද කියලා හිතෙන්නේ ඒවා නැවත නැවත අහනකොටයි.
 
 ඇය ජානක විත‍්‍රමසිංහ සමඟ ගායනා කරන පහත ගීතයත් එවැනිම අපූරු ගීතයක්. ඓතිහාසික දස්කොන් ප‍්‍රමිලා පේ‍්‍රමය පදනම්කොට බිහිවුණු ගීත නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ ප‍්‍රවිණ ගීත රචක රත්න ශ‍්‍රී විජේසිංහයන්. ජානක විත‍්‍රමසිංහයන් සමඟ ඇය මේ ගීතය ගායනා කරනවා.
 
 මිහිරිම වසන්තය අරන්
 
 ඈත සඳ එබෙයි කවුළුවෙන්
 
 දස්කොන් සකි සඳුනේ ඇයිද පමාවා
 
 නිඳිගත් කොවුලිඳුට හොරෙන්
 
 සීතල සඳ එළිය යටින්
 
 සක්මන් මළුව සොයාගෙන මම ආවා....
 
 ”මගේ ජිවිතේ මම කරපු කියපු දේවල් ගැන පසු තැවෙමින් ඉඳින කෙනෙක් නොවෙයි මම. මම හැම මොහොතෙම මට ලැබුණු දේ හොඳයි කියලා හිතමින් සතුටින් සැහැල්ලූ‍වෙන් ජිවිතයට මුහුණ දෙන කෙනෙක්. ජිවිතේට බාධා එනවා . ඒවාට මුහුණ දෙන එක තමයි ජිවත්වනවා කියන්නේ.දැන් මගේ ජිවිතේ වැඩි හරියක් ප‍්‍රමුඛතාවය දෙන්නේ මගේ පුතාට. එයාව හරි මාර්ගයට යොමු කරන එක අම්මා කෙනෙක් වශයෙන් මගේ යුතුකම , වගකීම වෙනවා. එයා ඇත්තටම සංගීතය පැත්තට වැඩි කැමැත්තක් නැහැ.නමුත් එයාට මම සංගීතය ඉගැන්නුවා. ඉස්සරහට එයා එයාගේ ජීවිතේ කැමති විදියට කැමැති පැත්තට යොමු කර ගනියි. ඒක හරි මාර්ගයට යොමු කරන්න මම අම්ම විදියට එයාගේ පස්සෙන් ඉන්නවා. අපි අපිට කැමැති දේවල් දරුවන් ලවා කරවන්න බලාපොරොත්තු වෙන්න නරකයි. දරුවාගේ දක්‍ෂතාවය කැමැත්ත බලලා ඒ පැත්තට යොමු කරන්නයි ඕන.”
 
 පහුගිය කාලේ ඇය අසනීපයෙන් පසුවු නිසා ඇගේ සංගීත පංතිද මදකට නවතා දැමුවා. ඇය ඉතාමත්ම හොඳ සංගීත ගුරුවරියක් .එහෙත් ඉදිරියේදි රට යතා තත්වයට පත්විමෙන් පසු ඒ පිළිබඳ නැවතත් ඇය උනන්දු වෙයි කියලා අපට හිතෙනවා.
 
 දේශිය සිනමාවේ පසුබිම් ගීත ගායනය සඳහා ඇගේ හඬ නොයෙක්වර යොදාගෙන .තිබෙනවා. වැඩබැරි නම් වැඩක් නෑ, රන්දෙනිගල සිංහයා, ? දනියෙල් දවල් මිගෙල්, ජොන්සන් ඇන්ඞ් ගොන්සන්, විජේ සහ අජේ වැනි චිත‍්‍රපට ඒ අතර වෙනවා. නමුත් මේ මියුරු හඩින් අපේ සිනමාව ප‍්‍රයෝජන අරන් තියෙන්නේ හරිම අඩුවෙන් කියලයි මට නම් හිතෙන්නේ.ඒ කොහොම වුණත් එදා මෙදා තුර ඈ සංගීත ක්ෂේත‍්‍රය තුළ ලැබු ජනාදරය නම් තවමත් ඈට නොඅඩුව ලැබෙනවා. දක්ෂතාවය හැකියාව ලබන්න වගේම ජනප‍්‍රසාදය ජනාදරය දිනා ගන්නත් හැබෑවටම කෙනෙකු වාසනාවන්ත වෙන්න ඕන. ඒ වාසනා මහිමය හිමිවන්නට ඈ පින්කර තිබුණා.

 


( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post