ජීවන රඟ මඬලෙන් බැස ගිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

0 May 14, 2020 08.51am Art

වර්තමානය වන විට ලාංකේය සිනමාවට ආදේශ කළ යුතු චරිත බොහොමයක්ම තිබේ. සරලව කියන්නේ නම් පෙම්වතාගේ පෙම්වතියගේ සිට වීරයා දක්වාද දුෂ්ටයා දක්වාත් සියලු චරිත මේ මොහොතේ අප සිනමාවට හිඟ පාඩු චරිත ය. එවන් වූ චරිත යන් මේ මොහොතේ ලාංකේය සිනමා පටයන්හි දක්නට නොලැබෙන්නේ කවර කරුණක් නිසාදැයි විශ්ලේෂණය කිරීම පසෙක තැබීම වටී. මන්ද අතීත සිනමාව තුළ ස්වර්ණමය ලෙසින් තම හැකියාවන් දිගහැරී චරිත පිළිබඳ කතාබහ කිරීම ඊටත් වඩා ඵලදායි වන නිසා ය. නළුවකු ,පෙම්වතියකු, වීරයකු ආදී සියල්ල එකසේ කළ හැකි චරිත වර්තමානයේ දී සොයාගත හැකිවන්නේ අතළොස්සකි. ලාංකේය සිනමාවට පිරිපුන් සිනමාවක් බිහි කරලීම උදෙසා තම දායකත්වය සැපයු චරිතයක් පසුගියදා තම ජීවන රඟමඩලින් බැස ගියේය. ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. එසේත් නැත්නම් හිතමිත්‍රයන් රසිකයන් කවුරුත් හඳුනන ඇලෙක්ස්ය.

 

ප්‍රේක්ෂකයන්ගේ විසිල් හඬ මැද්දේ දුෂ්ටයන්ට දුවන්නට පහරදුන් වීරයා ජෝෂප් එම්මානුවෙල් ප්‍රනාන්දු උපන්නේ 1940 අගෝස්තු 25 වනදා කොළඹ කොටහේන කොච්චිකඩේ දීය. බොහෝ දෙනාගේ අදහස වූයේ ඇලෙක්ස් සිටිනා සිනමාපටයක් කම්මැලිකමකින් හුදකලාවකින් තොරව නැරඹිය හැකි බවයි. ⁣වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු තිරය මත ක්‍රියාශීලී විය. නමුත් මෙවන් චණ්ඩිකම් පෑ වීරයකුට වූයේ තම කුඩා සන්දියේදි හුදකලාව ජීවිතය ගෙවන්නටය. එයට හේතු වුයේ තමාට වයස අවුරුදු දහය වන විට ඔහුගේ මව මියයාමයි. මව් සෙනෙහස අහිමි වූ ඔහුට ජීවත් වන්නට සිදුවූයේ තම පියා සමගය. කුඩා ඇලෙක්ස් මුලින්ම අධ්‍යාපනය ලැබුවේ රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග පවා අධ්‍යාපනය ලැබූ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ය. සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයට ඇතුළත් වූයේ ඉන් පසුවයි.

කොළඹ නගර සභාවේ ක්‍රීඩා උපදේශකයෙකු ලෙස සේවය කිරීමට පෙර ඔහු පාසල් සමයේ සිටම ක්‍රීඩාවට උපන් හපන්කම ඇත්තකු වීමය. එපමණක් නොව ආත්මාරක්ෂක සටන් කලාව මෙන්ම සෙසු ක්‍රීඩා අතින් ද ඔහු ඉදිරියෙන්ම සිටින්නට විය. වයස අවුරුදු 15 වන විට ම ආම්ස්ට්‍රෝන් රෙස්ලින් ක්‍රඩා සමාජය හා සම්මබන්ධ වන්නට ඔහු කටයුතු කළේ පාසලේ දී බොහෝ දෙනෙක්ට ඔහුව හඳුනාගත හැකි වූයේ බොක්සිං ක්‍රීඩාවට මෙන්ම මල්ලව පොර සඳහාද උපන් හපන්කම් ඇත්තකු ලෙසයි. එමෙන්ම කරාටේ, ජූඩෝ සඳහා පමණක් නොව සෙසු ක්‍රීඩා උදෙසා ද පාපන්දු ක්‍රීඩාව මෙන්ම පිහිනුම් සඳහා ද ඔහු අති දක්ෂයකු විය. ලාංකේය සිනමාව තුළ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ නළුවකු සම්බන්ධ වී සිටියා දැයි කෙනෙකු ඇසුවොත් ලබා දීමට ඇති මුල්ම පිළිතුර වන්නේ අන් කවරකුවත් නොව ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු බවය.

අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු 1960 දී වරාය අධිකාරිය හා සම්බන්ධ වූ ඔහු 1964 දී ජපානයේ ටෝකියෝහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් විය. ඉන්පසුව 1966 වර්ෂයේදී බැංකොක් හි පැවති නිපොන් ආසියානු ක්‍රීඩා උළෙලට සම්බන්ධ වී එහිදි දක්ෂතාවයන් පෙන්වූයේ ඔහුට වයස අවුරුදු 26දීය. නමුත් ඊට පෙර ඇලෙක්ස්ට වයස අවුරුදු 22 වන විටම ලංකාවේ අපරාජිත මල්ලව පොර ශූරයා ලෙසින් නම් දරා සිටින්නට හැකි විය.

වරක් රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වූ ඇලෙක්ස් පැවසුවේ විදේශයකදී පැවැති ක්‍රීඩා උළෙලකට ඔහුට යාමට නොහැකි වූයේ රජය මගින් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ නොහැකි නිසාවෙන් බවයි. වසර කිහිපයක්ම අපරාජිතව මල්ලවපොර ශූරයා ලෙසින් තම දක්ෂතා එළි දක්වා සිටි ඇලෙක්ස්ට කොළඹ නගර සභාවේ ක්‍රීඩා උපදේශක තනතුර ලැබුණේ මේ හැකියාවන් ගෙන් පසුවය.

ක්‍රීඩාවෙන් තම හැකියාවන් මනා ලෙස පෙන්නුම් කළ මෙවන් වූ කලබලකාරී චරිතයකට කලාව කෙසේවත් පිහිටීමේ හැකියාවක් නැතැයි බොහෝ දෙනෙක් කල්පනා කලා වන්නට පිලිවන. නමුත් ජවසම්පන්න ඇලෙක්සැන්ඩර් ගේ සිත පුරාම පැවතියේ කලාවට ලැදි බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඔහු සම්බන්ධ වූයේ ජුලියස් සීසර් සහ තවත් දෙමළ වේදිකා නාට්‍යයක් වෙනුවෙනි. සිනමාවට එන්නට පාර කැපුනේ මෙතැනිනි.

මේ නාට්‍ය බැලීම සඳහා වරක් ලෙනින් මොරායස් පැමිණ සිටි අතර පසුකාලීනව ඔහු ලෙනින් මොරායස්ගේ අතිජාත මිත්‍රයෙක් වූවා පමණක් නොව ඔවුන් එකම කාමරය බෙදාගත් මිත්‍රයෝද වූහ. මේ මිත්‍රත්වය මගින් ඇලෙක්ස් ට ලැබුණු ත්‍යාගය වූයේ ටී. සෝමසේකරන්ගේ "වෙනින් ස්වර්ගයක්" චිත්‍රපටය හා සම්බන්ධ වීමේ අවස්ථාව ලැබීමයි. නමුත් කණගාටුවට මෙන් ඔහු රඟපෑ මුල්ම චිත්‍රපටයේ දර්ශනයක කවර හෝ හේතුවක් නිසා චිත්‍රපටයෙන් ඉවත් කොට තිබිණි. එම ජවනිකාව හෙන්රි ජයසේනයන් සමඟ ඇලෙක්ස්දි මැදි වූ ගැටුමකි. නමුත් පසුකාලීනව මොරායස්ගේ සෑම චිත්‍රපටයකම ඉඩක් තම මිත්‍රයා වෙනුවෙන් වෙන්ව තිබිණි. ඒ තරමට ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය බද්ධ වී තිබුණි.

මුල්ම චිත්‍රපටයෙන් ඔහුගේ දර්ශනය ඉවත් කර තිබූ නිසාවෙන් ඩබ්.එම්.එස්. තම්පෝගේ "රුහුණු කුමාරි" චිත්‍රපටය ඔහුගේ සිනමා ආගමනය ලෙස හැඳින්විය හැකිය. මේ චිත්‍රපටයට ඇලෙක්ස්ව සම්බන්ධ කර ගත්තේ එවක "චණ්ඩියා" චිත්‍රපටයෙන් ජනප්‍රියව සිටි රොබින් ප්‍රනාන්දුය. මෙසේ රුහුණු කුමාරියෙන් ගමන් ඇරඹි ඇලෙක්ස්ට ඉන්පසු අටවැනි පුදුමය චිත්‍රපටය හා සම්බන්ධ වීමට හැකි වන අතර එතැන් සිට කොහොමද වැඩේ, හාරලක්ෂය, ශ්‍රී මදාරා , සහයට ඩැනී, සිංගප්පූර් චාලි, හිතක පිපුණු මල්, අපි කවදත් ශූරයෝ, සූරයන්ගෙත් සූරයා , යකඩයා, හතර දෙනාම සූරයෝ, අභිරහස , මිරිඟුව, සූරයා සූරයාමයි, ඔහොම හොඳද , ආදරේ හිතනවා දැක්කම, පසමිතුරු ,සරදියෙල්ගේ පුතා වැනි චිත්‍රපට සමගින් චිත්‍රපට 150ට වඩා ඔහුට රඟපෑමේ අවස්ථාව ලැබුණි. අටවැනි පුදුමය චිත්‍රපටයෙන් ඔහුට හමුවූ සුවිශේෂී චරිතයක් වූයේ සේනාධීර රූපසිංහය. අටවැනි පුදුමය චිත්‍රපටය රූගත කරන සමයේ සේනාධීර රූපසිංහට ඔහු සටන් පුහුණු කළේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළදීය. ක්‍රමවත් ලෙස සේනාධීර රූපසිංහ ට සටන් ශිල්ප ඉගැන්වූ ඇලෙක්සැන්ඩර් පසුකාලීනව පැවසූයේ සේනාධීර රූපසිංහ මියයන තුරුම ඒ හේතුව නිසා තමාව ගෞරවයෙන් සිහිපත් කළ බවයි.

එපමණක් නොවේ ඔහු රෝයි ද සිල්වා, සනත් ගුණතිලක, ගාමිණී ෆොන්සේකා යන චරිතය උදෙසාද සටන් පුහුණු කිරීමේ කටයුත්තේ නියැළී සිටීයෙකි. සූරයන්ගෙත් සූරයා චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකාට සටන් පුහුණු කළ ඔහු සම්බන්ධයෙන් ගාමිණී කොතෙක් ඇලෙක්ස් සම්බන්ධයෙන් පැහැදුණා දැයි කිව හොත් තාත්වික සටන් කිරීමට ගාමිණී තිබූ තුළ තිබූ ආශාව නිසා මිරිඟුව චිත්‍රපටයේ රූ ගත කරන සමයේ ගාමිණී ෆොන්සේකා ගේ පහරකෑමට ලක්ව දින තුනක් ඇලෙක්ස් කට ඇර ගැනීමටවත් නොහැකි සිටියේය. මෙම සිදුවීම නිසා ගාමිණී ෆොන්සේකා නිතර නිතර ඇලෙක්ස් ගැන සොයා බැලු අතර ඔහු රඟපෑ චිත්‍රපට බොහොමයකට ඇලෙක්ස්ව සම්බන්ධ කර ගැනීමටත් කටයුතු කළේය.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ප්‍රධාන නළුවන් සමඟ සහය චරිත මවමින් සිටියද ඔහුගේ සිනමා ගමනේ වැදගත්ම සංධිස්ථානය ලෙසින් චිත්‍රපට විචාරකයන් මෙන්ම ඔහු ද හඳුන්වා දී ඇත්තේ තමාට "ශ්‍රී මදාරා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වීමට ලැබීම බවයි. මේ අවස්ථාව ඔහුට ලබා දුන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ය. මීට පෙර ඔහු සතිස්චන්ද්‍ර එදිරිසිංහය මහතාගේ මාතර ආච්චි චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂන කටයුතු කර තිබිණි. එමෙන්ම "සරදියෙල්ගේ පුතා" චිත්‍රපටයහි රඟපෑම වෙනුවෙන් ද ඔහුට මහත් ජනප්‍රියත්වයක් ලැබුණු අතර එහි ඔහු රඟපෑවේ කලකදී අකාලයේ මියගිය ආනන්ද ජයරත්න සමගිනි. එහි ප්‍රධාන නිළිය ලෙසින් කටයුතු කළේ මාලනී ෆොන්සේකා ය. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ සරදියෙල්ගේ පුතා චිත්‍රපටය තිරගත වීම වීම ඇරඹූයේ 1976 සැප්තැම්බර්ම මස 10 දාය. කෙසේ වෙතත් එහි සිදුවූ විශේෂිතම සිදුවීම වූයේ එම වසරේ ගාමිණී ෆොන්සේකා, තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය වැනි ජනප්‍රියත්වයේ සිටි නළුවන් රඟපෑ චිත්‍රපට අභිබවා වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වන්නට සරදියෙල්ගේ පුතා සමත්වීමයි.ඕනෑම තරුවකට බැබළෙන්නට වරම් ලැබෙන්නේ කාලයකි. ඒ නිසාමදෝ කලක් ගතවනවිට ඇලෙක්ස්ට ද සිනමාපට ලැබීමේ හිගයක් පැවතුනි. නමුත් කලාවත් සමඟින්ම සිටි ඔහු තමා කලාව ආරම්භ කළ වේදිකාවටම යළිත් සම්බන්ධවීමට ඉටාගත්තේය. ඒ සමගම "සිරිපාල සහ රන්මැණිකා' වේදිකා නාට්‍යය මෙන්ම "යම ලොව පෙරළිය" වේදිකා නාට්‍යයේත් ප්‍රධාන භූමිකාව ඔහු විසින් හෙබවීය.

මේ අයුරින් එවක සිනමා අඹර දිදුල ගාමිණී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, ආනන්ද ජයරත්න ,ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු , විජය කුමාරතුංග ,ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, ඇන්තනි සී. පෙරේරා, බැප්ටිස් ප්‍රනාන්දු වැනි එවක අතිශය ජනප්‍රිය තලයේ සිටි නලුවන් සමඟ එකට මුහු වී තම හැකියාවන් පෙන්නුම් කළ ඇලෙක්ස් මෙරට සිනමාවේ ස්වර්ණමය අවධියේ සිනමාව වෙනුවෙන් මනා ලෙසින් තම දායකත්වය සැපයූවන් අතරින් ඉහළින්ම සිටි චරිතයකි. පෙම්වතාගේ චරිතයත් දුෂ්ටයාගේ චරිතයත් මනා ලෙස නිරූපණය කළ ඇලෙක්ස්ට වැඩි වශයෙන් සම්බන්ධ වන්නට සිදු වූයේ සටන් ජවනිකා සඳහාය.

එම නිසා බොහෝ අය ඔහු සටන් නළුවකු යැයි නම් කරන තත්ත්වයට ම පත් විණි. කෙසේ වෙතත් ඔහු සම්බන්ධ වූ සිනමාපට සඳහා රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබුණු බව නම් කිව යුතුමය. 1984 දී ජනාධිපති සම්මානයක් ද ජාතික ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් 2009 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔහුට ඇගැයීම් සම්මානයක්ද ලැබ තිබිණි. 1978 වසරේදී අනෝමා ලුම්බිණි සමග විවාහ වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මිය යන විට දියණියන් දෙදෙනකුගේ හා එක් පුතකුගේ දයාබර පියෙකි


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post