කිඩාරමින් පිරි දුගඳ ලොවේ ඔබ සල් මලක් වැනි...

0 Apr 17, 2020 09.08am Art

අන්තිම මොහොතෙ හරි තාත්තා කෝල් කරයි කියලා ෆෝන් එක ළඟ තියන් හිටියෙ

"කඩා වැටුණු ඝන වනන්තරේ

සහන් එළිය පරිදි

හදා දෙන්න මට මගේ පැලත්

ජීවිතයට පණ දී...

සිනාව මට අමතකව නොයේ හඬන්නෙපා මතුදා

ගෙනාව ඒ වාසනාව හා

රැඳෙන්නෙමි සැමදා...

හඬන්න වූ කල හැඬිය යුතුයි

එය වලකන්න එපා

හඬන්න ඉඩ දෙන හේතු ඇතොත්

වළකනු මැනවි වහා...."

ප්රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනා කළ මේ ගීතය කලකට පෙර අපට ගුවන් විදුලියෙන් ඇසුණු ජනප්රිය ගීතයකි.මේ ගීතය ගායනා කරනු ලබන්නේ එවක යොවුන් ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමඟින් ජයන්ත රත්නායකය. සංගීතවත්කොට තනු නිර්මාණය කළේ ද ඔහු විසින් ම ය ..ගීතයේ කියවෙන අයුරින්ම කඩාවැටුණු ඔහුගේ ජීවන වෘක්ෂයට ප්රාණය ලබා දෙන්නට මේ මොහොතේ කිසිවකට හෝ හැකියාවක් නැත. හැමටම මෙනෙහි කළ හැක්කේ ඔහු කියූ කෙරෑ දෑ මෙන්ම ඔහු පැතිරූ ගුණ සුවඳයි.

ජයන්ත රත්නායකයන් අවසන් වරට ගායනා කරනු ලැබුවේ ප්රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ සම්පත් රචනා කරන ලද ගීතයකි. පූර්ණ හා ජයන්ත අතර මිත්ර කමටත් එහා ගිය සහෝදරත්වයක් පැවතියේ ඔවුන් කුඩා සමයේ සිටම ය. ඊට මූලිකම හේතුව වූයේ ප්රේමකීර්ති ද අල්විස් මහතා සහ වික්ටර් රත්නායක යන දෙපළ ගහට පොත්ත මෙන් බැඳී සිටි නිසාවෙනි. පසුගිය කාල වකවානුව තුල ජයන්ත රත්නායකයන් පූර්ණ සමඟ එක්ව බොහෝ වැඩකටයුතු කටයුතු රාශියකට අත ගැසීම සඳහා සැලසුම් සකස් කරමින් උන්නේ ය. එම නිසා ජයන්ත සම්බන්ධයෙන් ළඟම සහ අවසන් කාල පරිච්ඡේදයෙහි ළඟින්ම සිටි උන්ගෙන් කෙනෙක් වේනම් ඒ පූර්ණ සම්පත් ය . ඔහු ජයන්ත ගැන පැවසුවේ මෙවැන්නකි.

"ඇත්තටම කියනවා නං ජයන්ත අයියගේ සංගීත ජීවිතෙන් හතරෙන් තුනක්ම වගේ වැය කළේ වික්ටර් මාමගේ සංගීත කටයුතු වෙනුවෙන්. ඉතින් ටික කලක් ගියාට පස්සේ ජයන්ත අයියාට තේරුණා එයාගේ සංගීත කටයුතු දියුණු කරගන්න ඕන කියලා. ඒ හින්දා එයා මට නිතරම කිව්වා මල්ලි තාත්තා, ප්රේම් මාමත් එක්ක ගොඩක් වැඩ කරා වගේ, අපි දෙන්නත් එකතු වෙලා අලුත් ට්රෙන්ඩ් එකක් බිහි කරමු කියලා. අපි මිනිස්සුන්ට කියලා දෙමු කිව්වා නිර්මාණ වල වැදගත්කම. හොඳ ගීත නිර්මාණය කියන්නේ මොනවද වගේ දේවල්ද කියලා. ඔයත් නිකන් ඉන්න එපා අපි වැඩේ පටන් ගමු කිව්වා . ඒ එක්කම එයාගේ තව ලොකු අදහසක් තිබුණා මම, ජයන්ත අයියා නෙළුම් අයියා එකතු වෙලා ප්රසංගයක් කරන්න . එයාට උවමනා වෙලා තිබ්බෙ වික්ටර් මාමගේ "ස" ප්රසංගයට මගේ තාත්තා නිවේදන කටයුතු කරා වගේ එයාලගේ එකටත් මම නිවේදන කටයුතු කරන්න.

ජයන්ත අයියා කියන්නේ ශාන්තුවරයෙක් වගේ මනුස්සයෙක්. එයා කාටවත් කවදාවත් හිරිහැරයක් කරදරයක් කළේ නෑ. එයාගේ නංගිට මල්ලිට එයා හරියට ආදරේ කළා. කොහොමහරි ජයන්ත අයියා කිව්ව විදිහට අපි දෙන්නට කරන්න හම්බ වුණේ සින්දු දෙකක් විතරයි. එකක් "දෙකොපුල් තෙමා" අනික "ශුන්ය වූ ප්රේමයේ". වූයේ මේ සින්දුවට ජයන්ත අයියට ලොකු ආසාවක් තිබුණා විෂුවල් එකත් කරන්න. ඒත් අපිට ඒක කරන්න බැරි වුණා. එයා මැරෙන්න දවස් එකහමාරකට විතර ඉස්සර වෙලා මම ඒකට පුංචි වීඩියෝ එකක් හදලා ෆේස්බුක් දාලා ජයන්ත අයියට කෝල් කරා. එතකොට ටිකක් අමාරුයි. හොස්පිට්ල් එකේ හිටියෙ .

"මල්ලි මට ටිකක් අමාරුයි ඇස් දෙක පේන්නෙ නෑ; ඔයා ඒක වට්ස්ඇප් දාන්න. කලබල ඉවර වෙලා ආවම හම්බ වෙලා කතා කරමු කියලා කිව්වා."ඒත් සිංදුව රිලීස් කරලා පැය හයක් යන්නත් ඉස්සර වෙලා ජයන්ත අයියා අපිට සමුදුන්නා.

"ශුන්යවූ ප්රේමයේ

සෙනෙහසක තතු සොයා

තවම මා සැලෙනවා

ගොම්මනේ තනිවෙලා "

මේ එයාගෙ හිතට වැදුණු මේ සින්දුවේ හොඳම පද පේළි හතර සහ ඔහුගේ සංගීත ජීවිතයේ හිතට කා වැදුණු හොඳම පද පේළි හතර කියල තමයි එයා මට කිව්වේ. අවසාන වශයෙන් මම කියන්න ඕන එයාගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා අන්තිම වෙලාවේ හරි වික්ටර් මාමා එයාට කෝල් එකක් දෙයි කියලා. එයා ළඟින් හිටපු හැමෝම ඒක දන්නවා. මිය යන දවසේ අවසන් මොහොතෙත් එයා ෆෝන් එක් ළඟින් තියාගෙනයි හිටියේ"

සියල්ලෝ ම අධික වේගයෙන් තම ජීවන ගමන හැල්මේ දුවද්දී නිහඬ නිසංසල සාන්තුවරයන් මෙන් මිනිසුන් ලෝකයෙන් බැහැර වන්නේ පිරවීමට නො හැකි වූ සදාකාලික හිස්තැනක් තබමිනි. ජයන්ත රත්නායකයන් ද එසේ පිරවීමට නොහැකි වූ හිස්තැනක් තබමින් අපෙන් සමු ගත් සොඳුරු කලාකරුවෙකි.

ඉතින් සොඳුරු හිතවත ඔබට සුබ ගමන්!!ඔබ වෙනුවෙන් ලියූ සටහන නිමා කරන්නට පෙර ඔබ බෙහෙවින් ආදරය කල ප්රේමකීර්ති ද අල්විස් මහතා විසින් ලියූ ඔබ ගායනා කළ ගීයක කොටසකින් එය අවසන් කිරීම යෙහෙකැයි සිතේ.

"හඬන්න වූ කළ හැඬිය යුතුයි

එය වළකන්න එපා

හඬන්න ඉඩ දෙන හේතු ඇතොත්

වලකණු මැනවි වහා"


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post