එඩ්වඩ් ජයකොඩ් ‘ගුත්තිල’ සමඟ නළුවෙක් වෙයි

0 Oct 30, 2019 09.48am Art

මට ඕනෑ  මිනිස් සිත ශ්‍රද්ධාවට පත්  කරන්නයි

‘මහින්දාගමනයෙන්‘ සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු සිය පළමු චිත්‍රපටයෙන්ම ආදායම් වාර්තා බිඳ හෙළමින් සිංහල සිනමාවේ නව

ප්‍රවණතාවක් මතු කිරීමට සමත් විය. එතැන් සිට ඔහු අධ්‍යක්ෂණය කළ ‘සිරි දළදාගාමනය‘,

‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ‘ සහ ‘මහ රජ අජාසත්‘ ඉතා සාර්ථකව තිරගත වූ සිනමා කෘති විය. ‘මහ රජ අජාසත්‘ නිර්මාණයෙන් පසු

සිනමාවේ මඳ විරාමයක් ගන්නා ඔහු වසර තුනකට පසු නැවත කරළියට පැමිණෙයි. ඒ, වෑත්තෑවේ හිමියන් විසින් රචිත ‘ගුත්තිල කාව්‍යය සංග්‍රහය‘ ඇසුරෙන් ‘ගුත්තිල‘ සිනමාවට නඟමිනි. අපේ මේ කතා නායකයා සනත් අබේසේකර බව දැන් ඔබ දන්නවා ඇත.

පසුගිය කාලයේ ඔබ සිනමාවේ නිහඬ චරිතයක් වුණා ?

ඔව්. ‘මහ රජ අජාසත්‘ අධ්‍යක්ෂණයෙන් පසු සිනමාවට මම කෙටි විරාමයක් දුන්නා. ඒ කාලේ හිරු නාළිකාවේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. වසර තුනකින් පසුවයි යළි නව සිනමා කෘතියක වැඩ ඇරැඹුවේ.

 

මෙවර සිනමාවට ගෙන එන්නේ ගුත්තිල මූසිල කතාව?

ඔව්. ලංකා සාහිත්‍යයයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ රාජධානියේ හයවැනි පැරකුම්බා රජ සමයේ ලැබුණු රාජ්‍ය අනුග්‍රහයත් එක්ක බොහෝ කලාත්මක නිර්මාණ බිහි වුණා. වීදාගම මෛත්‍රි, වෑත්තෑවේ හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල යන හිමිවරුන්ගේ ‘සැලළිහිණි‘, ‘ගිරා‘ සහ ‘හංස‘ යන සංදේශ සහ ‘ගුත්තිල කාව්‍ය සංග්‍රහය‘ ලියැවෙන්නේ මේ යුගයේ. ‘ගුත්තිල‘ සිනමා තිර පිටපත ලියැවෙන්නේ වෙන්නේ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළ ‘ගුත්තිල කාව්‍ය‘ සහ පන්සිය පනස් ජාතක පොතේ ගුත්තිල ගැන තිබෙන‍ කතාවක සංක්ෂිප්තයෙන් හා අනුසාරයෙන්.

 

සංගීත ප්‍රවීණයකුගේ සිනමා ප්‍රවිෂ්ටයද මේ නිර්මාණය හරහා සිදු වෙනවා?

‘ගුත්තිල‘ සිනමාවට ගේන්න මට ආරාධනය ලැබෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී තිස්ස නාගොඩවිතාන මහතාගෙන්.‍ ඔහුගේ පුත් හරේන් නාගොඩවිතාන සහ ලේලිය දිලිනි සිල්වා යන තරුණ යුවළ තමයි මෙය නිෂ්පාදනය කරන්නේ. හරේන්, තම පියාට ගෞරවයක් ලෙස පිදෙන තෑග්ගක් විදිහටයි ‘ගුත්තිල‘ නිෂ්පාදනයට දායක වෙන්නේ. අපට අවශ්‍ය වුණේ ‘ගුත්තිල‘ චරිතයට සංගීතය, වීණා වාදනය සහ ගායනය පිළිබඳ හසළ දැනුමක් ඇති රංගනයටත් හැකියාවක් තිබෙන කෙනෙක්. ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මේ චරිතයට සුදුසු වේවි යැයි දැනුණා. ඔහු ආගම දහමට නැඹුරු, මස් මාංසවලින් වැළැකුණු ධාර්මික දිවි පෙවෙතක් ගත කරන කෙනෙක්. ඒ යථාර්ථය එක්ක ගනු දෙනුව සහ අපේ තිබුණු අන්‍යොන්‍ය සම්බන්ධය නිසා ඔහුගේ කැමැත්තත් පහසුවෙන්ම ලැබුණා. නළු නිළියෝ, ගායකයෝ, නායකයෝ අමුතුවෙන් හදන්න බැහැ. එය උපතින්ම ලැබෙන දෙයක්. ඒඩ්වඩ් ජයකොඩි කියන්නෙත් එහෙම ගායනය පතා ගෙන ආ කෙනෙක්. රංගනයටත් ඔහුගේ තිබූ සැඟවිච්ච හැකියාව මම ඔප් නංවලා ගත්තා.

 

ඇයි ඔබ ආගමික හෝ ඓතිහාසික කතා අධ්‍යක්ෂණයට පමණක් සීමා වෙලා ඉන්නේ?

මම මුලික අධ්‍යාපනය හැදෑරුවේ පිරිවෙනක. එහිදි මට බෞද්ධ ඉතිහාසය ගැඹුරට හදාරන්න අවස්ථාව ලැබුණා. ඒ ඉතිහාසය ගැන ලැබුණු දැනීම පසු කාලීනව පුවත්පත් කලාවේදියකු ලෙස සම්බන්ධ වීම සමඟම රටේ ඉතිහාසය හා බෞද්ධ ඉතිහාසය ගැන පොත් පත් කියවා ගවේෂණය කරන්නත් නැඹුරු වුණා. ඒ ආ ගමනේ අද වෙද්දි මම බෞද්ධ ඉතිහාසය උගන්වන ගුරුවරයකු ලෙසත් කටයුතු කරනවා. බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙනවා කෙනෙක් මේ ලෝකෙට ඉපදුණා නම් ඔහු රටට හෝ දහමට යමක් කළ යුතුයි කියලා. ඒ අදහස ඔස්සේයි මම ගමන් කරන්නේ. එනිසා වෙනත් ආරයේ කතා සිනමාවට ගේන්න මගේ අදහසක් නැහැ. නිෂ්පාදකවරු පවා මට ආරාධනා කරන්නේ ඓතිහාසික කතා පසුබිම් වූ නිර්මාණ කරන්න. මාව වැටිලා තියෙන ඒ මාවත දිගේ මම යනවා.

 

ඔබේ නිර්මාණවල වාණිජත්වය සහ කලාත්මක යන දෙකම රැක ගන්නේ කොහොමද?

සිනමා මාධ්‍ය ගැන මම ඉගෙන ගත් දෙයින් හා මගේ රැකියාවෙන් බුදු හාමුදුරුවෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් ඉහළම කාර්යය තමයි මේ කරන්නේ. එය වාණිජ ද සාම්භාව්‍ය ද කියලා හිතන්නේ නැහැ. මේ රටේ මාව පිළිගත් ප්‍රේක්ෂකයින්ට බුදු හාමුදුරුවෝ කියපු ඒ වටිනා බීජය වැපිරීමයි මගේ එකම අරමුණ.

 

ඔබ සිනමාවේ වරප්‍රසාදිත අධ්‍යක්ෂවරයෙක් යැයි මා කීවොත්?

මම මේ ගෙවන ධාර්මික ජීවිතය හැම තැනකදිම මට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ‘මහින්දාගමනය‘ ‘සිරිදළදාගමනය‘ ලංකාවේ ආදායම් වාර්තා බිඳ හෙළු චිත්‍රපට දෙකක් බවට පත් වුණා. මා සමඟ වැඩ කරන නිෂ්පාදකවරුන්ගෙන් නිර්මාණය ආරම්භයේ සිටම එය සාර්ථක කරගන්න මට ලැබෙන සහාය සහ ශක්තිය ගැන කතා කළත් එවැනි නිෂ්පාදකවරු ලැබෙන්නෙත් පෙර පිනකට වාසනාවකට. මේ විශ්වයෙන් ලැබෙන ශක්තිය හා ආශිර්වාදය එක්කයි සිනමාවේ මේ තරම් වාසනාවන්ත ගමනක් මට යන්න හැකි වෙලා තියෙන්නේ.

 

පුංචි තිරයට ඔබෙන් ලැබෙන දායකත්වය අඩුයි නේද?

අධ්‍යක්ෂණය සහ තිර රචනය හැරුණාම රංගනයෙන් මම ඈත් වෙලා ඉන්නේ. ඉදිරියේදි තවත් චිත්‍රපට දෙකක් කරන්න සූදානම් වෙනවා. ඒ, බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය හා ජපානය සහ ශ්‍රී ලංකාව එක්ව කෙරෙන තවත් බෞද්ධ චිත්‍රපටයක්. සිනමාවේ කාර්යබහුලත්වය නිසාම නිතැතින්ම සිනමාව මුල් තැන ගෙන තිබෙනවා. මම කැමැති මිනිසාගේ සිත ශ්‍රද්ධාවට පත් කරන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන විදිහට එය තමයි වඩා කුසල් අත් වන ක්‍රමය. සිනමාවටත් පුළුවන් මේ ශ්‍රද්ධාව කියන මාර්ගයට යොමු කරන්න. සිනමා නිර්මාණයක් නරඹලා එළියට යද්දි ප්‍රේක්ෂක සිත් පහන් කොට යවන්න පුළුවන් නම් එය තමයි මා ලබන ලොකුම ජයග්‍රහණය. ‘ගුත්තිල‘ චිත්‍රපටයෙන් ඒ දේ ඉටු කළා යැයි හැඟෙනවා. ඉදිරියේදි ප්‍රේක්ෂකයා එය තහවුරු කරයි.

 

නිර්මාණ ඔස්සේ ලාභ ලබන්න ඔබ ධර්මය මාර්කට් කරනවා යැයි විවේචන ඇහෙන්නත් පුළුවන්?

ඕන කෙනෙක් ඕනම දෙයක් කියපුදෙන්. මාව ඇසුරු කරන අය දන්නවා මම ගෙවන ජීවන රටාව. මම හැමදේම කරන්න පටන් ගන්නේ පිරිත් කියලා. දවස පටන් ගන්නේ බුදුන්ගේ ආශිර්වාය ලබා ගෙන. මොනාහරි අයහපතක් වෙන්න ගියත් ඒ හැම දේකින්ම වැළකෙනවා මිසක් මට වරදින්නේ නැහැ.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post