හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයි

0 Oct 17, 2019 09.51am Art

ප්‍රවීණ රංගන ශිල්පී මනෝහාරි විමලතුංග
සහෝදර සහෝදරියොයි, ඔවුන්ගේ දරුමල්ලන් හින්දා තනිකඩ ජීවිතයේ තනියක් නැහැ

අම්මාගේ චරිතය රඟපාන එක  ලෙහෙසි නෑ

මනෝහාරි විමලතුංග. ඇගේ නම අප කිසිවකුටත් නුපුරුදු නොවේ. ඒ නම කියූ සැණින් අපේ මතකයට එන චරිතය නම් කේ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘වතුර කරත්තය’ චිත්‍රපටයේයි. ඈ වැඩිපුර චිත්‍රපට රංගනයට පිවිසියේ නැති වුවද රඟපෑ නිර්මාණ කිහිපය රසිකයන්ගේ හදවත බැඳ ගැනීමට තරම් සමත් වූ බව අරුමයක් නොවේ. එදා රසික හදවත බැඳගත් ඒ සොඳුරු රුව අදටත් අඩු නැතිව පැවැතීම මා සිත පුදුමයට පත් කළා. ඒ ගැන සිතමින්ම මා ඈ අසලට ළං වූයේ කලකට පසුව කෙරෙන වැඩකටයුතු විමසීමේ අදහසිනි.

“මේ කාලයේ මට ලැබෙන්නේ අම්මාගේ චරිතයයි. ඒකත් ලෙහෙසි පහසු නැහැ. ඒ ලැබෙන අම්මාත් විවිධයි. ඒ වගේම පාරතොටේ හමු වන රසිකයනුත් මේ ගැන විමසනවා. ඔවුන් නිතරම වගේ අහන්නේ චීත්තයටයි, හැට්ටයටයි කොටු වුණා නේද කියලා. එත් මා ඔවුන්ට පවසන්නේ ඒ ලැබෙන චරිතය මා රඟපාන්නේ බොහොම සන්තෝෂයෙන් බවයි. අපි වයස ගැනත් තේරුම් ගන්න එපායෑ. අම්මා, නැන්දා, අක්කා කියන මේ ලැබෙන ඕනෑම චරිතයක් මා සතුටින් බාර අරගෙන රඟපානවා.”

“ඔබ තවමත් එදා වගේම තරුණයි”

ඒ ප්‍රශ්නයට ඇය හඬ නඟා සිනාසුණා ය. එයටම සරිලන පිළිතුරක් ඇගෙන් මට ලැබිණි.

“අපි තවම තරුණ වුණාට අපට හරියන තරුණයෝ නැහැ. ඒකයි ප්‍රශ්නය.”

සැහැල්ලුවෙන් යුතුව මනෝහාරි විමලතුංග පැවසුවේ මගේ මුවඟට ද සිනහවක් නංවමිනි. මේ දවස්වල ඇගේ රුව පුංචි තිරයේ රසිකයන්ගේ ඇස නොගැටෙන තරම් ය.

“පසුගිය දවස්වල යම් තරමක නිර්මාණ කිරීමේ පොඩි අතපසුවක් තිබුණා. ඒත් මා සිවගුරුනාදන්ගේ ‘පාරක් නැති ගෙයක්’ කියන ටෙලි නාට්‍යයේ චරිතයකට පණ පෙව්වා. ඒ ටෙලි සිත්තම ළඟදීම විකාශය වේවි. එහිත් මා රඟපෑවේ අම්මාගේ චරිතයයි. මගේ සැමියා විදියට රඟපාන්නේ වසන්ත විට්ටච්චි. විවිධ ඇදහිලිවලට ඇබ්බැහි වුණු, නිතර අසල්වැසියන්ට අසත්පුරුෂ වැඩ කරන චරිතයක්. මා ඔහුවත් හදාගෙන, වැරැදි හරිගස්සගෙන ඉන්න බිරියකගේ චරිතයයි එහි රඟපාන්නේ.”

මනෝහාරී උපත ලබන්නේ නුවර කඩුගන්නාවේ ය. එහෙත් දැන් ඇගේ පදිංචිය රාගමයි.

“රජයේ සේවකයෝ නිසා අපට තැනින් තැනට යන්න සිදු වුණා. මේ අතර තාත්තා නැති වුණා. ඊට පස්සේ අපි තාත්තාගේ ගම වුණු රාගම පදිංචියට අාවා. මේ සුන්දර ග්‍රාමයට මා ආදරෙයි. දැන් මගේ ගම වෙලා තියෙන්නේ රාගමයි. මේ අවට අසල්වාසීන් සමඟ බොහොම සුහඳව, සැහැල්ලුවෙන්, සතුටින් මා කාලය ගත කරනවා.”

ඇගේ නිවෙසට පිවිසෙන්නන්ට ඇස ගැටෙන එක් කාරණයක් තිබේ. ඒ මුළු නිවෙසම අලංකාර කර ඇත්තේ ස්වාභාවික ගස්වැල් ආශ්‍රය කරගනිමිනි. විවිධ මල්වර්ග හා වැල්වලින් සෙවණ වුණු මනෝහාරිගේ නිවෙස අපට කියාපාන්නේ ස්වාභාවික පරිසරයට ඇගේ තිබෙන ළැදියාවයි; ආදරයයි.

“රූගත කිරීම් නැත්නම් මා කරන එකම දේ මේ ගස්වැල් සමඟ ජීවත්වීමයි. ඔවුන් සමඟ කතා කරන එක මට පුරුද්දකට ගිහින්. උදේ මා නැඟිටින්නේ කුරුල්ලන්ගේ සද්දත් එක්ක. එහා පැත්තේ තියෙන කාමරංකා ගහට හා නමිනං ගහට එන කුරුල්ලෝ ගොඩයි. ස්වභාව ධර්මයත් එක්ක නැඟිටලා මගේ දවස ගෙවෙන්නේ ඒ සුන්දර පරිසරයේමයි. මේ කුඩා ඉඩ ප්‍රමාණය පලතුරු ගස්වලින් පිරිලා. මේ ගස්වැල් අපට කතා කරනවා. ඒ තරමටම මා පරිසරයට ආදරෙයි.”

මනෝහාරිට ඉන්නේ මල්ලිලා දෙදෙනකු සහ නංගි කෙනෙකි. ඔවුන් අතුරින් අද රංගනයට පිවිස ඇත්තේ මනෝහාරි පමණි. සමාජයේ වැදගත් රැකියාවල නිරත වන ඔවුන් අද වන විට ද සිටින්නේ සිය වැඩිමහල් සොහොයුරියගේ සෙවණැල්ල මෙනි.

“කතාවට කියනවා සිහින මවන්න ඒවා ඉටු වෙනවා කියලා. මගේ නංගි සිහින මැව්වේම ටීචර් කෙනකු වෙන්න. අද එයා විදුහල්පති දක්වා ආව කෙනෙක්. ඒ වගේ මමත් පුංචි කාලයේ ඉඳන් සිහින මැව්වේ රංගන ශිල්පිනියක් වෙන්න. චිත්‍රපටවල රඟපාන්න. මාලිනී ෆොන්සේකා වෙන්න. ඒත් ඒ සිහිනය සැබෑවක් වුණා. ඉස්සර අම්මා අපව චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. හැබැයි ඒ පාසල් වැඩ හරියට කළොත් විතරයි ඒවා බලන්න එක්ක ගෙන ගියේ. ඒ කාලයේ ආවේ ගාමිණී - මාලිනී චිත්‍රපට. ශ්‍රියාණි අමරසේන, සුමනා අමරසිංහ වගේ නළු නිළියන් තමයි ඒ චිත්‍රපටවල හිටියේ. ඒ චිත්‍රපට නරඹලා මම මාලිනී ෆොන්සේකා. නංගි ගාමිණී ෆොන්සේකා. මල්ලි අධ්‍යක්ෂ. එයා එල්ලෙන ලයිට් එකක් ඇරගෙන අපේ ඇඟට ගහලා, ඇක්ෂන් කියනවා. අපි එතකොට සින්දු කියලා රඟපානවා. එවන් සුන්දර අතීතයකුයි අපට තිබුණේ.”

පාසලේ අධ්‍යාපන කටයුතු කළ ද මනෝහාරිගේ සිත තිබුණේ රඟපාන්න ය. සින්දු කියන්නට ය. ඇගේ ඒ සිහිනයට උදව් කළ තවත් දෙදෙ­‍ෙනකි. ඒ මම්මා සහ බාප්පා ය. පළමුව ‘වතුර කරත්තය’ චිත්‍රපටයේ රඟපෑම සඳහා තිබුණු සම්මුඛ පරීක්ෂණයට මනෝහාරීව අරගෙන යන්නේ ඔවුන් ය. ඉන් ඇයව තෝරා ගැනිණි. ඈ රිදී තිරයට පැමිණෙන්නේ ඒ අයුරිනි. ඈ කොතරම් වාසනාවන්ත රංග ශිල්පිනියක ද යනු එකම චිත්‍රපටයක් තිරගත නොවී චිත්‍රපට දෙකකට එක්වර අත්සන් කිරීමට ලැබීම ඒ වාසනාව ය.

“මම ‘රේල්පාර’ හා ‘වතුර කරත්තය’ කියන චිත්‍රපට දෙකටම රඟපාන්න අත්සන් කළා. හරියට මගේ රංගනය දැකලාවත් නැතිවයි මට ඒ අවස්ථාව ලැබුණේ. එයට පස්සේ ‘වාසිටි කෙල්ල’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ නිර්මාණ කිහිපයෙන් පස්සේ මා චිත්‍රපට රංගනයට පිවිසුණේ නැහැ. ඒත් ටෙලි නාට්‍ය හා වේදිකාවේ මා රඟපෑවා. අදටත් මගේ පවුලේ අය මා රඟපානවාට කැමැත්තක් නැහැ.”

පවුලේ අදහස එසේ වුවද මනෝහාරිගේ සිත බැඳුණේ ම රඟපෑමට ය. ඒ නිසා අද සැවොම හඳුනන රංගන ශිල්පිනියක වී සිය වෘත්තිය විදියට ඈ තෝරාගෙන තිබෙන්නේ ද එයම ය.

“මේ වෘත්තියට කවුරුහරි බණිනවා නම් මා කැමැති නැහැ. හොඳ නරක කියන දේ කොයි වෘත්තියටත් පොදුයි. හොඳ අය වගේම නරක අය ඒ ඕනෑම වෘත්තියක ඉන්නවා. තවමත් මා රංගනය ඉගෙන ගන්නවා. මගේ ජීවිතයේ සතුටින්, නිවිසැනසිල්ලේ ගෙවෙනවා.”

ඈ තවමත් අවිවාහක ය. එයට හේතුව නිර්මාණය වූයේ ඈ තරුණ කාලයේදී ය.

“මවුපියන්ගේ අවසරය ඇතිව විවාහ වෙන්නයි මා සිටියේ. ඒත් ඔහු අසනීපයක් නිසා මේ ලෝකය අතහැරලා ගියා. ඉන් පස්සේ මගේ සිතේ ආදරයක් ඇති වුණේ නැහැ. මාගේ දුකට සැපට ඉන්නේ මගේ සහෝදර - සහෝදරියන් සහ ඔවුන්ගේ දරුවන්. ලද දෙයින් සතුටු වෙන්න මට පුළුවන්. ඒ නිසා මගේ ජීවිතය ගෙවෙන්නේ සරලවයි. අපේ වෘත්තියට විශ්‍රාම වැටුපක් තියෙනවා නම් වඩාත් හොඳයි. ඉදිරියේ පැමිණෙන කවුරු වුණත් එවැනි කාර්යයකට උනන්දු වන්නේ නම් වඩා යහපත් බවයි මා සිතන්නේ.”

ඈ අවසාන වශයෙන් පවසන්නීය. ඇගෙන් සමුගන්නට මත්තෙන් මගේ සිතේ සිතුවම් දෙකක් සිත්තම් වූ බව නොකියාම බැරි ය. ඒ ගස්වැල් සමඟ සෙවණ වූ ඉන් සුන්දර වූ ඇගේ නිවෙසත්, මල් වියළා නිමවන ලද අත්කම්වලින් සැරසුණු බිත්තියත් ය.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post