මොන වීරයා වුණත් මේ රටේදී “සීරෝ”

0 Aug 06, 2019 09.16am Art

ජනාධිපති සම්මාන උලෙළේ හොඳම නළුවා වූ මහේන්ද්‍ර පෙරේරා

 පමා වී හෝ ඔබේ රංගනය ඇගැයීමට පාත්‍ර වීම ගැන ඔබට දැනෙන්නේ?

හිතේ සතුටක් තියෙනවා. නමුත් සමරන්න තරම් හිතේ ලොකු සහනයක් නැහැ අද මේ රටේ තත්ත්වය එක්ක. විනිශ්චය මණ්ඩලයට මේ තීරණ ගැනීම පිළිබඳ ගෞරවාන්විතව මම ස්තුතිවන්ත වෙනවා. මම මේ විෂයානුබද්ධ වෙලා, අභ්‍යාසගත වෙලා, ඒ විෂයය තව තවත් සොයා යමින් ඉතා හොඳින් රඟපාන්න කරන උත්සාහයකයි යෙදෙන්නේ. ඒ උත්සාහය, මහන්සිය හා කැපවීමට පමා වී හෝ ඇගැයීමක් ලැබීම සතුටට කරුණක්.

හොඳම නළුවා සම්මානය දෝතට ගන්න සෑහෙන කාලයක් ගියා නේද?

ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 40 කට වගේ කිට්ටුයි. සෑහෙන කාලයක් යනකල් නිර්දේශ වුණෙත් නැහැ. ඊට පස්සේ නිර්දේශ වෙන්න පටන් ගත්තා. ඒත් සම්මාන ලැබුණේ නැහැ. ඊටත් පස්සේ නිර්දේශ වෙලා සහය නළුවා සම්මානය සෑහෙන්න ලැබුණා.

විනිශ්චය මණ්ඩලවලට ඔබව පෙනෙන්න මෙතරම් පමා වුණේ ඇයි?

එය විනිශ්චයකරුවන්ගේ එක එක දැකීම් වෙන්න පුළුවන්. සමහරවිට යම් යම් හේතු බලපාන්න ඇති. අපේ රංගනයට වඩා ප්‍රබල චරිත ඔවුන් දකින්නත් ඇති. මේ සම්මාන කෙසේ වෙතත් ජනතාවගේ සම්මානය මට කොහොමත් ලැබෙනවා. සම්මාන මම කිසි දිනෙක පවතින්න, ධෛර්යයට කාරණයක් කියලා සලකන්නේ නැහැ. නමුත් මේ යන ගමනට සම්මානයකින්, ඒ විනිශ්චයෙන් විශාල ගෞරුත්වයක් ලබා දෙනවා, එම පුද්ලගයාට. ඔහු අවසානයේදී සම්මානනීය කලාකරුවෙක් කියන දේට. එතැනයි අපට ආස්වාදය තියෙන්නේ.

ඔබ රඟපෑ ප්‍රධාන චරිත බොහෝ විට නිර්දේශ වුණේ සහය නළු සම්මානවලටයි?

ඒ ක්‍රමවේදය මොකද්ද කියලා මටත් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට සහය නළුවාට හිතපු චරිතවලටත් හොඳම නළුවා සම්මානය ලැබිලා තියෙනවා. බොහෝ වෙලාවට අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා නිර්මාණයේ එන ප්‍රධාන චරිත හා සහය චරිත පිළිබඳ. නමුත් එසේ සඳහන් කරලා නැත්නම් විනිශ්චය මණ්ඩලයට නිදහසක් තියෙනවා යැයි මම අසා තියෙනවා ,ඔහුව හෝ ඇයව යම් කාණ්ඩයකට ඔවුන්ට තෝරා ගන්න.

සම්මානනීය රංගන ශිල්පයකුට රටේ තිබෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

හරිම ඛේදවාචකයක්. මං හිතන්නේ මෙය කලාවට පමණක් නෙමෙයි දැන් මේ රටම අගාදයට ඛේදවාචකයකට පත් වෙලා තියෙන්නේ. ඔක්කෝටම කලින් රට හැදෙන්න ඕනේ. රටේ අනාගතය ගැන හිතනකොට ඇඟ හිරි වැටෙනවා. කලාකරුවෝද හිඟන්නෝ කියලා අදහසක් තියෙනවා. ඒ කිසිම කලාකරුවෙක් ළඟ තැන්පත් ධනයක් නැති නිසා. ඔවුන්ට කලාවේ නිරත වෙන්න වෙලා තියෙන්නේ වෙන රස්සාවක් හෝ බිස්නස් එකක් කරන ගමන්.

සම්මාන ගන්න ඔබ ආ මඟ මල් ඇහිරු පාරක් නොවෙයි නේද?

මම උස මහත මනුස්සයෙක් නෙමෙයි නේ. මගේ තාත්තත් කියලා තියෙනවා දෙහි ගෙඩි දෙකක්වත් උස නැතුව නළුවෙක් වෙන්න හදනවා කියලා. නමුත් කලන්සූරිය එහෙම දැක්කාහම හිතට ලොකු ධෛර්යයක් ආවා මටත් නළුවෙක් වෙන්න පුළුවන් කියලා. පොඩි කාලේ ඉඳන් රංගනය ගැන තිබු ඉවත් එක්ක මට මේක කරන්න පුළුවන් කියන තැනයි හිටියේ. මොන්ටිසෝරි කාලේ ඉඳන් නටනවා, බෙර ගහනවා, අලුත් චිත්‍රපටයක් ආවොත් බලලා, ගෙදර ඇවිත් එහා ගෙදර ළමයි එකතු කරන් ගෙදර සාලේ ඒ චිත්‍රපටය රඟපානවා. හැබැයි ඉතින් ගෙදරින් අවසර ලැබුණෙත් නැහැ. රඟපාන්න යන්න සල්ලි ලැබෙන්නෙත් නැහැ. නමුත් මෙය හදාරන්න මට වුවමනාව තිබුණා. ඔය අතර ආචාර්ය සලමන් ෆොන්සේකාගේ නාට්‍යය පන්තිවලට සහභාගී වෙන්න මාව යොමු කළේ ඩන්ස්ටන් කියලා මගේ යාළුවෙක්. රඟපෑමේ විෂයය ගැන මගේ ඇස් පෑදුවේ ආචාර්ය සලමන් ෆොන්සේකා.

රංගන ශිල්පියෙක, ගුරුවරයෙක් යන භූමිකාවෙන් එහාට යන්න අදහසක් ඇවිත් නැද්ද?

අධ්‍යක්ෂණයට කැමැත්තක් තිබුණත් මේ රටේ මං නිෂ්පාදකවරයා රැක ගන්නේ කොහොමද? ආදායමින් 35-40% නිෂ්පාදකයාට ගෙවන රටක් ලෝකේ කොහේවත් තියෙනවාද? ලක්ෂ දාහක් හම්බ කළොත් නිෂ්පාදකවරයාට ලැබෙන්නේ ලක්ෂ 300 යි. චිත්‍රපටය හදලා, නළු නිළියන්ට ගෙවලා, කන්න බොන්න දිලා එච්චර මහන්සියක් වුණු මිනිහට ලැබෙන්නේ ඒ ගාණ නම් ඉතුරු ආදායම කොහොද යන්නේ?... මොකටද යන්නේ... මේවා ගැන පැහැදිලි හරි තීරණයකට ආ යුතුයි. කාගේ හෝ සල්ලි එක්ක සෙල්ලම හොඳ නෑ කියන බය මට තියෙන නිසා අධ්‍යක්ෂණය ගැන තාම මම ඉන්නේ වැනි වැනි.

ලාංකේය කලාකරුවන් කිහිප

විටෙකදීම ජාත්‍යන්තර සම්මාන පවා

මෙරටට රැගෙන ආවා. ඉන් එහාට

ඒ ගමනට මං පෙත් ඇහිරෙනවාද?

ජාත්‍යන්තරයේ මංපෙත් ඇහිරිලා නෑ . ජාත්‍යන්තරය ජය ගෙන එන කලාකරුවන් අන්තර්ජාතික කීර්තියට පත් වූ කලාකරුවන් එතැනින් එහාට කිසිවක් නොවීම මේ රටේ ප්‍රශ්නයක්. ඉස්සර අපේ සිනමාකරුවෙක් ජාත්‍යන්තර කීර්තියට පත් වුණහම ඔහුව ගිහින් පිළිඅරන් අගයලා, කතා බහ කරනවා. නමුත් දැන් පිටරටක අපිව රෙඩ් කාපර්ට් දාලා පිළිඅරන් මෙහෙ ආවාහම අදාළ පාර්ශ්ව මූණවත් බලන්නේ නැහැ . අධ්‍යාත්මික වශයෙන් මේ රට විනාස වෙලා. රටේ අධ්‍යාත්මය පොහොසත් කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න වෙනවා. එහිදී රසවින්දනය වැදගත් කාරණාවක්.

අපේ කලාකරුවට තවම නාට්‍යයක් පුරුදු වෙන්න හරි තැනක් නැහැ. කිසිම දෙයක් කිසිම තැනක හරි නැහැ. ප්‍රසන්න ජයකොඩි රොටඩෑම් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම ආසියාතික චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තා. නිවුස් එකක් වත් ගියේ නැහැ. මමත් දෙතුන් වතාවක් නිර්දේශ වුණා. සාර්ක් චිත්‍රපට උලෙළේ හොඳම නළුවා වුණා. නිවුස් එකක්වත් නැහැ. මොන ජාත්‍යන්තර සම්මාන, ඇගැයීම් ලැබුණත් මේ රටට අාවට පස්සේ සීරෝ තමයි. අවසානේ මට නම් මේ යන රටාව ගැන බලන් ඉඳලා කලකිරීමක් වෙහෙසක් දැනෙන්නේ. හැමදේම අතහැරලා හුදකලා වෙන්න හිතෙනවා. නැත්නම් සේරම දමලා ගහලා මේ රටින් යන්නත් හිතෙනවා.

ඒ කියන්නේ රංගනයත් ඔබට එපා වෙලාද?

නැහැ. රඟපැම එහෙම එපා වෙන්නේ නැහැ. කොහේ ගියත් කාලෙකට ඇවිත් දෙයක් කරලා යනවා.

ඔබෙන් පසු මහේන්ද්‍ර පෙරේරා වගේ කෙනෙක් බිහි වේවිද?

මම ගාමිණි ෆොන්සේකා සර්, ජෝ මහත්තා අසුරු කර තිබුණත් මට කවදාත් ඔවුන්ට කිට්ටු කරන්න බැහැ. මම මාව සොයා ගැනීම, මගේ ටෙක්නික් සොයා ගැනීමයි අවශ්‍ය. කිසිම කෙනෙක්ට මම විදිහටම රඟපාන්න බැහැ. එහෙම වෙන්නේ නැහැ. මාව අනුකරණය කරන්නත් බැහැ. වරක් අමරසිරි කලන්සූරිය මහත්මයා සම්මුඛ සාකච්ඡාවකදි කිව්වා “අනිත් අයව නම් අනුකරණය කරන්න පුළුවන්. නමුත් මහේන්ද්‍ර පෙරේරාව පුළුවන් නම් අනුකරණය කරලා පෙන්වන්න“ කියලා. ඔහු එදා කිව්වේ මාව අනුකරණය කරන්න බැහැ කියන එකයි. ඒ නිසා මාව අනුකරණය කරාට ඇති වැඩක් නැහැ. මට වඩා හොඳට රඟපාන කෙනෙකු එන්න පුළුවන්. නමුත් තව මහේන්ද්‍ර පෙරේරා කෙනෙක් නම් වෙන්න බැරි වෙයි.

කොතරම් සම්මානනීය නළුවෙක් වුණත් ඔබටත් වැසිකිළි සෝදන්න සිදු වුණා නේද?

අපි එතරම් අන්තවාදී විය යුතු නැහැ. මගේ යම් කිසි වටිනාකමක් නිසයි ඔවුන් මට වානිජ්‍යමය වටිනාකමක් තක්සේරු කරන්නේ. ඉතින් ඒ මුදල් අරන් මං මගේ පවුල, මගේ දරුවෝ, අනාගතය වෙනුවෙන් කර ගත්තු දේවල් ගොඩක් තියෙනවා. බාල නිර්මාණ අත්හැරගෙන අපි මේ ගමන ගියත් කලාවෙන් අපිට අපේ ආර්ථිකය හදා ගන්න බැහැ. ඒ වගේ තැනකදී මම විකුණන්නේ මගේ නම. මම කියන මිල මට එනවා නම් මම කරනවා. මොකද මට කලාවේ පවතින්න වෙන විදි නැහැ. පැය 24ම මගේ ජීවිතේ රඟපෑම.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post