මම මේ චරිතය හොඳට කරනවා කියලා හැමෝම කියනවා...ඉතිං මට ගොඩක් සතුටුයි

0 Jul 04, 2019 11.41am Art

පුංචි තිරයේ අසීමිත රසික ආදරය දීනු පුංචි පැටික්කි කුමී

අහඹු ලෙස සිදුවන සිදුවීමක් නිසා කලා ලොවට එන්නට වරම් ලබන මේ පුංචි මල් කැකුළිය ඉතාමත් කෙටි කාලයක් තුළ ජනප්‍රිය නිර්මාණ රැසක් නිසාම මේ රටේ හැමෝගේම ආදරයට පාත්‍ර වෙන චරිතයක් වෙනවා. අද වන විට හැමෝම අහන්නේ එකම එක දෙයයි ඒ අවුරුදු විස්සක් තිහක් ගිහින් කරන වැඩ තාමත් වයස අවුරුදු හතක් වෙන මේ කෙලි පොඩ්ඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තමයි... ඒක අපි කාටත් හිතාගන්න බැරි දෙයක්. ඒ නිසාමයි මේ දිනවල හැමෝම කතාබහ කරන පුංචි කුමී සමඟ දොඩමලුවකට අපි සූදානම් වූණේ. .. ඔව්... කුමී...කී සැණින් ඇයව දැන් හැමෝම හඳුනනවා. ලොකු - කුඩා කාගේත් ආදරය...ඇය ඇතිවන තුරු දැන් ලබනවා... ස්වර්ණවාහිනියේ විකාශනය වෙන කුමී ටෙලි නාට්‍යයේ කුමී ලෙස අපුරුවට රඟන මේ පුංචි තාරකාවී ...ජනාවී අප්සාරී දැන් මා ළඟයි. ...ඇය මේ පුංචිකමට සූදානම් වෙන්නේ රසඳුන හා මංගල කතාබහටයි..

කොහොමද චූටි දූ...

හොඳයි... (කෙල්ල එහෙම කීවේ මල් දෝතක් මුව මත විකසිත වූවා සේ...)

ඔයාට මම කුමී කියන්නද...ජානවී කියන්නද?

මාමා කැමති නමක් කියන්න..

ඔන්න එහෙනම් මම කුමී කියනවා... මොකද ඔයා අපේ හිත්වල මේ දිනවල ඉන්නේ කුමී ලෙසනේ

ඔව්... දැන් මට හැමෝම කතා කරන්නේ කුමී කියලා තමයි.

ඒකට දූ ආසද?

ඔව් මාමේ...

දූගෙ යාළුවොත් දැන් කතා කරන්නේ කුමී කියලා ද?

ඔව් ...පාසලේ ...අහල - පහල හැමෝම කුමී කියලා කතා කරන්නේ..

දූට කතාකරන අය මොකද කියන්නේ?

කුමී නාට්‍යයේ හොඳට මම රඟපානවා කියනවා.

මේ දූගේ මුල්ම නාට්‍ය ද?

නෑ.. මීට කලින් කෝටිපතියෝ.., හාර කෝටිය..., ප්‍රාණ..., නීල පබළු වැනි නාට්‍යවල රඟපෑවා. ඒ නාට්‍යවලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් හැමෝම මාව දැනගත්තේ කුමී නාට්‍ය හරහා තමයි.

කුමී නාට්‍ය රූගත කරද්දී ඇතැම් තැන්වලදී දූට බය හිතෙන්නෙ නැද්ද?

බය හිතුණත් රඟපෑමක් කියලා දන්නවා මාමේ.

දූට කවුද මේ නාට්‍යයේ උදව් කරන අය?

චරිත් අංකල් ගොඩාක් උදව් කරනවා. මම ගැන නිතරම හොයලා බලනවා. ඇයි මේනක මාමා.... මනිෂා අක්කා මට ගොඩාක් උදවු කරනවා.

දූගේ පාසල මොකක් ද?

ධර්මාරාම ප්‍රාථමික විදුහල - මිනුවන්ගොඩ

රඟපානවාට ගුරුවරු කැමති ද?

ඔව්... අධ්‍යාපන වැඩවලට හානියක් නොවෙන්න ඒ දේවල් කරන්න කියනවා.

රූගත කිරීම නිසා පාසල් වැඩ පාඩුවෙන

අවස්ථාත් ඇති නේද?

එහෙම වුණාහම අතපසු වූ‍ දේවල් පාසල ඇරිලා හවසට ටී චස්ලා මට කියා දෙනවා. මගේ යාළුවන් ගේ අම්මලා අතපසු වූ නෝට්ස් එවනවා. යාළුවෝ එයාලාගේ පොත් බලාගන්න දෙනවා.

රඟපාන්න ගියාට මාමේ මම පාසලේ - මගේ ඉගනීමේ වැඩ පාඩු කරගන්නේ නෑ. ෂුටිං ගිහින් සෙට් එකෙදීත් විවේකයක් ලැබුණාහම හෝම්වර්ක් කරනවා.

දූ දිගටම රඟපාන්න ආස ද?

ඔව් මාමේ .... මම ආසයි හොඳ නිළියක් වෙන්න.

හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න ආස නැද්ද?

ටීච කෙනෙක් වෙන්න ආසයි... තව ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ආසයි...

දූ කැමතිම නිළියක් ඉන්නවද?

ඔව්... නිරෝෂා තලගල ආන්ටිට මම ගොඩක් කැමතියි.

දූගේ අක්කා රඟපාන්න ආස නැද්ද?

අක්කා තමා මගේ හොඳම රසිකයා. මම රඟපාන නිසා මගේ පාසල් වැඩවලට ලොකුවටම උදවු කරන්නේ අක්කා. අක්කා ඉගෙනගන්නයි කැමැති. ගෙදර එක නිළියක් හිටියහම ඇති කියනවා. හැබැයි අක්කා එක නිර්මාණයක හිටියා.

විවේකයෙන් ඉන්න වෙලාවට මොනවා කරන්නද කැමති?

මම සත්තුන්ට ගොඩාක් ආදරෙයි. විවේකය ඒ අයත් එක්ක ගත කරන්නයි කැමති..

ඔව් ..පුංචි කෙල්ල ගිරවියක් ව‍ාගේ ..ආදරේ හිතෙනවා ඈ හා කතා කරද්දී ...දූ තාම චූටී නිසා සමහර දේවල් ඇගෙන් අහන්න අපහසුයි...ඒ නිසයි දූගේ තාත්තා එක්කත් අපි ටිකක් කතා කළේ...

මේ දිනවල දුව රටේ කතාබහට ලක්වෙන චරිතයක් නේද?

ඔව් කුමීට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මිනිසුන්ට දැනෙනවා මේ චරිතය. මේ නාට්‍යයෙන් හොඳ පණිවුඩ ලැබෙනවා. සමාජ‍යේ අනිත් ළමයින්ටත්. චරිත් අබේසිංහ මහතාට හදවතින්ම ස්තුති කරන්න ඕනා මේ වාගේ හොඳ නාට්‍යයකට දුවව සම්බන්ධ කරගත්තාට.

දුව කලාවට යොමුවීම අහඹු

දෙයක් ලු නේද?

ඔව්; අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැ. චාමර සමරවික්‍රම මහතාට තමයි දුව කලා ලොවට රැගෙන ඒමේ මුල්ම ස්තුතිය හිමි වෙන්නේ. දවසක් කොළඹ වුවමනාවකට අපි වාහනේ ගිය වෙලාවේ වාහනය සුදර්ශියේ ටිකක් නතර කළා. දුව වාහනෙන් බැහැලා ඉද්දී කෙනෙක් ආවා ඉදිරියට කමර්ෂල් එකකට දුවව දෙන්න පුළුවන්ද ඇහුවා. ඒ තමා චාමර සමරවික්‍රම මහත්තයා. මේ හැරවුම් ලක්ෂ්‍යය තමා අපේ ජීවිත වෙනස් කළේ.. ඔහු අපිව සද්ධා සර් (සද්ධා මංගල) වෙත යොමු කළා. ‘සිංහ පුත්‍ර’ කමර්ෂල් එකට දූව අරගත්තේ...එතකොට දුවට අවුරුදු හතරයි.

මේ ආරම්භයෙන් පසු ටෙලි නාට්‍ය - චිත්‍රපට වෙළඳ දැන්වීම් විෂුවල් රැසක දූ හිටියා. A/L චිත්‍රපටයේ උමාලි තිලකරත්නගේ දුව ලෙස චිත්‍රපටය පුරාම ආකර්ෂණීය රඟපෑමක් ඉදිරිපත් කළේ දුව. ඉදිරියට එන්න ලස්සන චිත්‍රපටි හා ටෙලි නාට්‍ය කිහිපයක්ම තිබෙනවා.

දුව රංගනය හදාරනවා ද කියලා අහන අය ඉන්නවාලු නේද?

ඔව්... හැමෝටම පුදුම ඇති... කැමරාවට මෙයා බය නෑ. හරි ඉක්මනට මූඩ්ස්වලට යනවා. හරිම උනන්දුයි රඟපාන්න... නයිට් ෂුට්වලදී වුණත් රෑ නිදි මරාගෙන ඒ දේ හරියට දුව කරනවා.

දුවගේ ගමනට මමත් බිරියත් හරියට උදව් කරනවා. දුවගේ හැකියාව දැක.. දැක... ඒ ගමන නතර කරන්න අපිට ඕනෑ නෑ. එයා හොඳට ඉගෙනීමේ වැඩත් කරන නිසා ගැටලුවක් නෑ. ඉදිරියට නිර්මාණ රැසකට ඇරියුම් ලැබී ති‍ෙයනවා. ඒ අතරින් තරුෂි පෙරේරා ගේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට දුවව ඉල්ලලා තියෙනවා.

මේ ගමනේදී අපිට උදව්... උපකාර කරපු අය ගැනත් සඳහන් කරන්න... චාමර සමරවික්‍රම, සද්ධා මංගල, චරිත් අබේසිංහ, ජය ප්‍රකාෂ් ශිවගුරුනාදන්, රුවන් කොස්තා, නිරෝෂා තලගල, ආනන්ද අතුකෝරල, දමින්ද සී මඩවල, සාරංග දිසාසේකර යන මහත්ම - මහත්මීන් සහ මගේ මාලඹේ සිටින හොඳම මිතුරා තිලංග... ඇත්තටම මේ අයගෙන් ලැබෙන සහයෝගය මිල කරන්න බැහැ.

අවසා‍නේ යළි මම ආයේ කියන්නේ කුමී කියන්නේ දූ දරුවන් නැරඹිය යුතු හොඳ නාට්‍යයක්. ඒක පෙන්වන්න. දරුවන්ට ජීවිතයට ගත හැකි හොඳ සිරිත් සහ පුරුදු නාට්‍යය පුරා තිබෙනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post