වය­සට ගිහින් රඟ­පාන්න බලා­පො­රො­ත්තු­වක් නෑ : ජන­ප්‍රිය රංගන ශිල්පිනී දිස්නි රාජ­පක්ෂ

0 Jun 20, 2019 09.21am Art

කෙටි කලෙකින්ම පුංචිතිරයේ සහ රිදීතිරයේ ජනප්‍රිය තරුවක් බවට පත් වු රංගන ශිල්පිනියක ලෙස දිස්නි රාජපක්ෂ හැදින්විය හැකියි. 'රාවණා' ටෙලි වෘතාන්තයේ කෛකශී කුමරිය ලෙසත්, 'සක්කාරං' ටෙලිවෘතාන්තයේ කොමලි ලෙසත් දිස්නිගේ රගපෑම් මේ දිනවල දැකිය හැකියි.

දිස්නි මොනවගේ චරිතයක්ද?

නිතරම දඟලන, ක්‍රියාශීලි ලෙස හැසිරෙන, අභියෝග හමුවේ නොබියව මුහුණදෙන චරිතයක්.

ඒ නිසාද 'රාවණා' ටෙලිනාට්‍යයේ කෛකශී කුමරිය චරිතයට ඔබව තෝරාගෙන තිබෙන්නේ...

සමහරවිට ඒකත් හේතුවක් වන්නට ඇති. මම හොඳ බොක්සින් ක්‍රිඩිකාවක්. ඒ වගේම සටන් හැකියාව හොඳටම තියෙනවා. රාවණා ටෙලිනාට්‍යයේ කෛකශී කඩු ශිල්පයට දක්ෂයි. ඒ වගේ මමත් කඩු ශිල්පයට දැන් දක්ෂයි. කොහොමත් ඕනෑම දෙයක් මට ඉක්මනටම ග්‍රහණය කරගන්න පුළුවන්.

ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙයිද?

පෙර පාසල් ගුරුවරියක් වෙයි. දැනටත් අන්තර්ජාතික පෙර පාසලක් පවත්වාගෙන යනවා. ඒක මගේ අම්මා දැනට වසර දහ අටකට පෙර පටන් ගත්තෙ. මම වසර හයක සිට එහි වැඩ බලනවා. දරුවන්ට උගන්වනවා. ඒ සඳහා ළමා මනෝවිද්‍යාව ඉගෙන ගනිමින් ඉන්නවා. පසුගිය කාලයේ පොඩි ළමයින් වෙනුවෙන් පොත් දෙකක් ලියුවා. එම පොත් දෙකම ඉදිරියේදි එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගනයට පිවිසෙන්නේ කොහොමද?

2015 මිස් ශ්‍රී ලංකා තරගයෙන් ජයග්‍රහණය කළේ මමයි. ඔය කාලයේදි රඟපාන්න ආරාධනා ලැබුණත් භාරගත්තේ නෑ. චන්න විජේවර්ධනයන්ගෙන් නර්තනය හැදෑරුවා. එහිදී සරත් ධර්මසිරි මහතා මාව දැක ඔහුගේ 'සුළඟ ඔබ ලුහු බඳී' ටෙලිනාට්‍යයට කතා කළා. එම ටෙලිනාට්‍යය තවමත් විකාශය වූයේ නෑ.

පාසල් කාලයේදිත් කලාවට සම්බන්ධ වුණාද?

මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකා විදුහල සහ කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල. පාසලේදි සමස්ත ලංකා නැටුම්, නාට්‍ය තරගවලට ඉදිරිපත්ව ජයග්‍රහණ කළා. මියුසික් කළා. බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන්. it උපාධිය හැදෑරුවා. 2017වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළෙත් රඟපෑවා.

කෙටිකලකදි ඔබ ලොකු ගමනක් ඇවිත්...

ඔව්.තවම ක්ෂේත්‍රයට ඇවිත් වසර දෙකහමාරයි. මේ කාලයතුළ හිතුවක්කාරයා, පත්තිනි, සඳපිනිවැස්ස, අපේ ආදරය, පිපෙන පෙන පිඬු, ක්‍රයිම් සීන්, වැනි ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑවා. තව අලුත් ටෙලිනාට්‍ය දෙකක් සහ චිත්‍රපටයක් ඉදිරියේදි විකාශය වේවි.

රඟපානවට පියා අකැමැතියි නේද?

අම්මා, තාත්ත දෙදෙනාම රඟපානවට කැමැති නෑ. අපේ පවුල අධ්‍යාපනික පවුලක්. තාත්ත නිතරම කියනවා මේ ෆීල්ඩ් එක හරි නෑ. ඔහු නිතරම කියන්නේ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියලයි. ඔහු මාව තදින්ම විශ්වාස කරන නිසයි මේ තරම්වත් බුරුලක් දී තිබෙන්නේ. 'රාවණා' ටෙලිනාට්‍යයේ මගේ රඟපෑම් බලන්න නම් ඔහු කැමැතියි.

පෙම්වතා මොකද කියන්නෙ?

ඔහු මම රඟපානවට කැමැතියි. ඒ අය 'රාවණා' ටෙලිනාට්‍යයේ මගේ රංගනය බොහොම ආසාවෙන් නරඹනවා.

රඟපාන්න ගිහින් සිදු වෙච්ච අමතක නොවන සිදුවීම් ඇති නේද?

පළමු ටෙලිනාට්‍යය වන 'සුළඟ ලුහු බඳී' ෂූටින් තිබුණේ කල්පිටියේ. දසුන් පතිරණත් මා සමග රඟපෑවා. එහිදී ත්‍රාසජනක අත්දැකීම් රැසකට මුහුන දුන්නා. බූරුවන්ගෙ පිටේ ගියා. බෝට්ටුවල හයියෙන් යනවා. ගස්වලින්, කඳුවලින් පනිනවා. කොහොමහරි ගෙදර එනකොට ගෙදර අයටත් මාව හදුනාගන්න බැරි තරමට කැත වෙලා. මගේ වාහනයට බූරුවෙක් හැප්පෙන්නත් ගියා. හරියට ආමි ට්‍රේනින් ගියා වගෙයි.

දිස්නි ෂුටින්යන වාහනය ගැනත් කියමු නේද?

ආ.. මගේ කාර් එක. ඒක ජංගම ගෙදරක් වගේ. මට අවශ්‍ය සියලුම දේ එහි තිබෙනවා. රැයක් ගතකරන්න පුළුවන් ඒකෙ ඇතුළෙ. ප්‍රථමාධාර, කොට්ට, කෑම බීම විතරක් නෙමෙයි හොට් ප්ලේට් එක පවා තියෙනවා.

කලාවේ කාවද අනුකරණය කරන්නේ?

ස්වර්ණා මල්ලවාරච්චි. මම එතුමියගේ රංගනයට කැමැතියි. දිගටම රංගනයේ යෙදුණොත් ඇය මෙන් චරිතාංග රංගන ශිල්පිනියක වෙන්න උත්සාහ කරනවා.

පවුලේ විස්තර...

අම්මයි, තාත්තයි, නංගිල දෙන්නයි. ලොකු නංගි ගුවන් සේවිකාවක්. පොඩි නංගි මේ මාසෙ අන්තිම විදෙස්ගත වෙනවා. නංගිත් එක්ක අම්මයි, තාත්තයි විදෙස්ගත වෙනවා. මමත් තව ටික කාලයක් කලාව කරල විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. කොහොමත් වයසට ගිහින් රඟපාන්න බලාපොරොත්තුවක් නෑ.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post