මට දව­සක රඟ­පාන්න නොලැ­බු­ණොත් කරන්න දාහක් දේවල් තියෙ­නවා : ජනප්‍රිය රංගන ශිල්පිනී - ගයනි ගිස­න්තිකා

0 Jun 18, 2019 10.22am Art

සමාජයේ දකින අත්දැකීම් කියන්න නිසදැස් කාව්‍යකරණයට යොමුවුණා
මගේ අලුත්ම බලාපොරොත්තුව 'අමුත්තා'
අපි අවුරුදු හයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණා

කලාවේ රසමුසුතැන් සොයා යන ගමනේදී අපි මෙවර කැදැල්ල විශේෂාංගයෙන් ගොඩවැදෙන්නේ තවත් සුන්දර කලා පවුලක නිවහනටයි. කොට්ටාව පසු කර රුක­්මල්ගම පසු කර ටික දුරක් ගමන් කරද්දී සුන්දර වෙල්යායක් හමු වෙයි. ඒ ආසන්නයේම අපි සොයනා සුන්දර කැදැල්ල පිහිටා තිබෙයි. නෙක වර්ගයේ පලතුරු, පලා, එළවළුවලින් සුසැදි ගෙවත්ත සැබැවින්ම ලස්සනය. ගත වූයේ නිමේෂයකි, අප දෙසට පැමිණියේ මෙම නිවෙසේ ගෘහණියයි. කලාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකායි.
ගයනි ගිසන්තිකා - තරුපති මුණසිංහ ආදරණීය කැදැල්ලේ වගතුගයි මේ.

'එන්න ගේ ඇතුළට. අද අපි ඔක්කොම නිදහසේ ගෙදර ඉන්න දවසක්. වෙනදට මමයි, පුතාල දෙන්නයි ගෙදර හිටියත්, තරු ගෙදර ඉන්නේ කලාතුරකින්.'ඇය ගීතයක් මුමුණනවාක් මෙන් ළෙන්ගතුව කියාගෙන යන්නීය'

'ගයනි මේ දවස්වල නිදහසේ ඉන්න හැඩයි' මගෙන් පැනයකි. 'නිදහසක් නම් නෑ. ඒත් හැමදාමත් වැඩ ගොඩක් බදාගෙන කරන පුරුද්දක් මට නැහැ. පුතාලගෙ වැඩ අතපසු නොවන විදිහට තමයි නිර්මාණ භාර ගන්නෙ. ඒවත් තෝරාගත් නිර්මාණ පමණයි. මේ දවස්වල ශිවගුරුනාදන් මහතාගෙ 'හුස්ම වැටෙන මල්' ටෙලි නාට්‍යයේ වැඩ කරනවා. ඊට අමතරව 'sirasa super mum' රියැලිටි වැඩ සටහනේ ආරාධිත මවක් ලෙස පුතාල දෙදෙනා සමග නර්තනයක යෙදෙන්න පුහුණුවීම් කරනවා. මේ දේවල්වලට අමතරව තවත් විශේෂ වැඩක් කළා'

ඇගේ අලුත්ම බලාපොරොත්තුව 'අමුත්තා' යි. එය අපට අමුත්තක් වුවත් වසර ගණනක් පුරාවට ආසාවෙන් මුදා හළ නිසඳැස් කාව්‍යය සංග්‍රහයයි.

'2003 සිට මම නිසඳැස් කාව්‍ය ලියන්න පටන් ගත්තෙ. එහෙත් පුතාල හම්බවුණාට පසුව ඒක ටිකක් මග ඇරුණා. ඉන් පස්සෙ අපි වසර ගණනක් විදෙස්ගත වුණා. ඔය දේවල් එක්ක නිසඳැස් ලියනඑකත් ටික ටික මගහැරුණා. මෑතකදි තරු තමයි මාව උනන්දු කළේ 'නිසඳැස්' ලියනඑක නැවත පටන් ගන්න කියල. එහෙම ලියපු නිසදැස් ගොනුකොට පොතක් බවට පත් කළා. එය ළඟදීම එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා'

ගයනි බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන පවසන්නීය. ඇය රංගනයට පමණක් නොව නිසඳැස් කාව්‍යකරණයට විශේෂ හැකියාවක් දක්වන බව 'නිසඳැස්' පොත රසවිඳිද්දී හැ‍ඟෙයි. එහි එක් පිටුවක මෙසේ පද ගලපා තිබේ.

'යකඩ ගොඩක් හූ හඬක්

කෙළවරක් නැති ජීවිතයක් රේල් පීලි අතර උඩට නැමුණු කහ මලක් කීව කතාවක් - ඇසුවොත් නුඹත්

පටන් ගනියි ජීවිතයක්..

'කවිය මගේ ජීවිතයේ කොටසක් නොවුනත් සමාජයේ, පොදුවේ දකින අත්දැකීම් කියන්න තමයි මම නිසඳැස් කාව්‍යකරණයට යොමුවුණේ. මගේ නිර්මාණකරණය පිළිබඳව ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා ධනාත්මකව සටහනක් යොදා තිබෙනවා'

අපේ කතාබහ මැදට එන්නට ගයනි- තරු යුවළගේ ආදරණීය පුතුන් දෙදෙනාටත් ඕනෑ හැඩය .ඇය දරු දෙදෙනා තුරුළට ගන්නීය. බැලු බැල්මට දඟයන් සේ පෙනුනද පුතුන් දෙදෙනා මව, පියාගේ අණට කීකරුය. සැබැවින්ම අපි පුංචි තිරයෙන්, රිදී තිරයෙන් දකින රංගන ශිල්පීනියට වඩා ගයනි නැමැති මව කොතරම් ආදරණීයද?

'අපි අවුරුදු හයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණා. තරුගේ පශ්චාත් උපාධියට තමයි අපි ගියේ. ඔහු ඉගෙන ගන්න නිසා මමත් එහිදී මෙල්බන් විශ්වවිද්‍යාලයේ කෙටි පාඨමාලාවක් කළා. ළමයින් පිළිබඳව පාඨමාලාවක් '

තරුපති මුණසිංහ යනු අපේ රටේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුද වේ. මීට වසර හයකට පෙර දුටුවාක් මෙන්ම ඔහුගේ රූපයත්, ගතිගුණත් කිසිදු ලෙසකින් වෙනසක් වී නොමැත .පුතුන් දෙදෙනාත් පියා, මව මෙන්ම කලාවට ළැදි බවක් පෙනේ.

'පුතාල දෙන්නම නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ ඉගෙනුම ලබන්නෙ. ලොකු පුතා මයොන් මුණසිංහ හතරවැනි වසරේ. පොඩි පුතා මිථුන් මුණසිංහ පළමු වසරේ ඉගෙනුම ලබනවා. දෙන්නම පාසල් ඇරී ගෙදරට එනවිට සවස තුන විතර වෙනවා. දරුවන් නිවෙසට එනතුරු මගේ වැඩත්, ගෙදර වැඩත් සියල්ල කර අවසන් කරනවා. මොකද පුතාල ගෙදර ආවට පසුව මට ඕනෑ එයාලත් එක්ක ඉන්නයි. ඉන් පසු සවස පහේ සිට රාත්‍රී අට දක්වා ඒ දෙන්නගෙ හෝම් වර්ක් කරනවා. මම රඟපෑව කියල අපේ ගෙදර කවදාවත් රූපවාහිනියට පුරුදුවෙලා නෑ. සමහර වෙලාවට අපි හතර දෙනාම ගිහින් චිත්‍රපටයක් බලන අවස්ථා තිබෙනවා. මම නිතරම ඒ දෙන්නට බෙදා හදාගෙන ජීවත්වෙන්න පුරුදු පුහුණු කරනවා'

'මයොන් පුතු මේ වනවිටත් ඔහුගේ අනාගතය ‍ගැන සිතා අවසන්ය. එහෙත් පුංචි මල්ලිට එතරම් දුරක් හිතන්නට නොතේරෙයි.

'ලොකු පුතා කැමැති ලොකු වුණාම චිත්‍ර ශිල්පියෙක් වන්න. දැනට පන්තියකට නම් යන්නෙ නෑ. එහෙත් අපි එයාට අවශ්‍ය සියලුම දේ ගෙනත් දෙනවා. පුතා අනාගතයේ ඩිසයින් ආකිටෙක්චර් කෙනෙක් හෝ කාටුන් ශිල්පියෙක් ලෙස ඉදිරියට යයි. අපි එයා කැමැති වෘත්තියකට යොමු කරනවා. එහෙම නැතුව බලපෑමක් කරන්නෙ නැහැ'

'පුතුන් දෙදෙනාට විදෙස් අධ්‍යාපනය ලබාදීමට පුළුවන්කම තිබියදී ඇයි ලංකාවට ආවෙ' මගෙන් පැනයකි.

'ගොඩක් අය අහනවා ඇයි අපි ලංකාවට ආවෙ කියල. අපිට හුරු පුරුදු ලංකාවේ රටාව නිසා මමත්, තරුත් තීරණය කළා ලංකාවේ අධ්‍යාපනය ලබාදෙන්නට. තව අවුරුදු තුනකින් විතර ඔවුන් නැවතත් ‍විදෙස් ගතකර අධ්‍යාපනය ලබාදෙන්න අදහසක් තියෙනවා'

'ගයනි රඟපාන්න වගේම වගා කරන්නටත් දක්ෂ ගෘහණියක් බව අපි දැනගත්තේ අදයි' 'බලන්න.. මේ සේරම පලතුරු, මල්වර්ග, එළවළු වගාකළේ මම. තරුට ඉතින් ඕවට වෙලාවක් නෑනේ. දැනටත් මගේ එළවළු වගාවක් අපේ තාත්තා බලාගන්නවා.

අපේ ගෙවත්තේ පේර, අඹ, ජම්බු, කතුරුමුරුංගා, මඤ්ඤොක්කා වැනි එළවළු, පලතුරු වගාකර තිබෙනවා. මෙවැනි දේ කිරීමෙන් මනසට, ශරීරයට මෙන්ම නිවෙසේ ආර්ථිකයටත් ශක්තියක්. අපේ ගෙදර කරපිංචා වටපිට අයත් ඇවිත් කඩාගෙන යනවා. මට දවසක රඟපාන්න නොලැබුණොත් කරන්න දාහක් දේවල් තියෙනවා. ඒක ගැන මට සතුටුයි.

ගොඩක් අය කියන දෙයක් නේ කොහෙන්ද ඕවට වෙලාව කියල. මට කියන්න තියෙන්නෙ හැම වෙලේම කාලය බොහොම සුරක්ෂිතව අවශ්‍යදේට පමණක් වැය කරන්න කියන එක.

ගෘහණියන්ට කියන්න තියෙන්නේ මුදල් පරිහරණය කරද්දී, කාලය පරිහරණය කරද්දී මෙන්ම මිතුරන් ඇසුරු කරද්දී බොහොම ප්‍රවේසමෙන් කළ යුතුයි කියල. අපි අද හොඳට මහන්සි වුණොත් අපිට අනාගතයේ දවසක සතුටින් කාලය ගෙවන්න පුළුවන්. මම තරුටත් නිතරම කියන්නේ ඔයාගේ වැඩ ටික හොඳට කරන්න. ගෙදර දේවල් මම බලාගන්නම් කියලා'

සැබවින්ම ඇය ගෘහණියන්ට ආදර්ශවත් කාන්තාවකි. පුංචි තිරයෙන් දකින පුංචි රංගන ශිල්පිනිය කොයි තරම් දැනුවත්ද? මෙවැනි මවුවරුන් දරුවන්ට වාසනාවකි.

'අපිට මොනතරම් ආසාවන් තිබුණත් ඒ හැමදේම ඉටුකරගන්න බෑ. අපිට අලුත් ඇඳුම් අඳින්න ආසයි කියල හැම මාසෙම අලුත් ඇඳුම් ගන්න බෑනේ. අපි දැනගන්න ඕන අපේ ආර්ථිකයට ගැළපෙන ලෙස වියදම් කරන්න. මම නිළියක් කියල ‍දරුවන්ගේ වැඩවලට ,ගෙදරට බඩුටික ගේන්න පොළට නොගිහින් ඉන්නෙ නෑ. ගෙදර ගෘහණිය තමයි ගෙදරම ශක්තිය. ඇය අතේ තමයි ඔවුන්ගේ දියුණුව රඳා පවතින්නේ'

අපි දකින ගයනි බොහොම විලාසිතා මවන්නියක්. ඒ ගැන මොනවද පාඨකයන්ට කියන්න තියෙන්නේ.. මම විලාසිතාවලට ගොඩක්ම කැමැතියි. එහෙම කියල ගොඩක් මේකප් කරලා ජුවලරි දාන්න කැමැති නෑ. සාමාන්‍යයෙන් මොන ඇඳුම ඇන්දත් එයට ගැළපෙන්න සපත්තු දෙක පවා පළඳිනවා. එහෙම නොකළොත් මට ඒ ඇඳුම සම්පූර්ණ නෑ වගේ දැනෙනවා. වර්ණ ගැන කතා කරනවානම් හැම වෙලේම අතයන්නෙ තද නිල් පැහැයට.එයට අමතරව රතු, සුදු, කළු වර්ණවලටත් කැමැතියි'

ඇය කෙතරම් කාර්යබහුල වුවත් දරු දෙදෙනාගේත්, සැමියාගේත් පෝෂණය ගැන බොහොම උනන්දුවක් දක්වන ගෘහණියකි.'අපි ඝර්මකලාපීය රටක ජීවත් වන මිනිසුන් නිසාවෙන් සමබල, ශක්තිසම්පන්න ආහාරවලට මූලිකත්වයක් දිය යුතුයි. ඒ නිසා මම තුන්වේලටම පිළියෙල කරන්නේ බත් සහ ව්‍යංජන. පාසලට ගෙනියන්න ඇට වර්ග, පැස්ටා, සැන්ඩ්විච් වැනි ආහාර පිළියෙල කරනවා. පුතාල දෙදෙනාත්, තරුත් ගොඩක් වෙලාවට මම හදන පිට්සා කෑමටත්, මල් ගෝවා ව්‍යංජනයට කැමැතියි'

මට මහා සිනමාවේදි ලෙස්ටර් ජේම්ස් පීරිස් සිහිපත් වෙයි. එතුමාගේ 'අම්මාවරුනේ' සිනමාටයේ ප්‍රේමලතා මැය නොවේද?, එයට අමතරව සරිගම, තනිතටුවෙන් පියාඹන්න, මද්දහන, ආදි නිර්මාණයන් ඇගේ රංගනයේ කඩඉම්ය. තවත් එවැනි පිරිපුන් නිර්මාණවලට ඇගේ දායකත්වය ලැබේවායි පතමින් තවත් සොඳුරු කැදැල්ලකින් සමුගතිමු.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post