පසු­ගිය කාලයේ පොඩි විවේ­ක­යක් ගත්තා : ජන­ප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දිය­ල­ගොඩ

0 Jun 04, 2019 09.36am Art

මුතු කිරිල්ලී ටෙලි වෘත්තාන්තයේ නිරාශා චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය වත්සලා දියලගොඩ. කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක ලෙසින් කාලයක් පුංචිතිරේ ජනප්‍රියව සිටිය වත්සලා මවක් වීම සමග ටිකෙන් ටික රංගනයෙන් ඈත් වුණා. මේ වන විට වත්සලාව පුංචිතිරයෙන් දැක ගන්න නොහැකි තරම්. ඒ ගැන වත්සලාගෙන් විමසූ විට ඇය කීවේ මෙවැනි කතාවක්.

වත්සලා රංගනයෙන් ඈත් වෙලාද?

රංගනයෙන් ඈත් වෙලා නෑ. මැරෙනකම්ම රඟපාන්න තමයි බලාපොරොත්තුව. පසුගිය කාලයේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තෙ පොඩි විවේකයක් ගන්න හිතුණු නිසයි.

නිර්මාණයකට කතා කළොත් භාර ගන්නවාද?

ඈත පළාත්වල කෙරෙන නිර්මාණ කොහෙත්ම භාර ගන්නෙ නැත්තෙ බබාගේ වැඩත් එක්ක යන්න තිබෙන අපහසුව නිසා. ගොඩක් අය ඒ ගැන දන්නවා ඒ නිසා එවැනි නිර්මාණවලට කතාකරන්නෙත් නෑ. මේ අවුරුද්දට කිසිම නිර්මාණයක් භාර ගත්තෙ නෑ. චිත්‍රපටයකට කතාකළා. ඒකෙ රූගත කිරීම් ළඟදීම පටන් ගනියි.

වැඩ නොකර නිකම් ඉන්න එක අපරාදයක් නේද?

රඟපෑවෙ නැතිවුණාට කරන්න වැඩ ඕනෑතරම් තියෙනවා. බබා පාසල් ගෙනියනවා . ගේනවා. එයත් එක්ක දවස ගෙවනකොට කාලය යනව දැනෙන්නෙවත් නෑ. ඊට අමතරව රූපලාවණ්‍ය නිෂ්පාදනයක සන්නාම නියෝජිතවරියක ලෙස වැඩ කරනවා. ඒකත් එක්ක වර්ක්ෂොප් පවත්වන්න රටපුරා යනවා. විවිධ නාළිකාවලට යනවා එම ප්‍රඩක්ට් එක සම්බන්ධව කතා කිරීමට. ඔය දේවල් එක්ක බොහොම කාර්ය බහුලයි.

කාලයක් ඔබ නිවේදිකාක ලෙසත් වැඩ කළා නේද?

ඔව්. කාලයක් විවිධ වැඩ සටහන් නිවේදනය කළා. දැන් ඒකටත් වෙලාවක් නෑ. දැන් ඉතින් අලුත් අය ඕන තරම් ඉන්නවනේ.

වත්සලා කතා කරන්නේ කලකිරීමෙන් වගේ ..

කලකිරීමක් නෑ. දැන් ගොඩක් අය ටෙලි නාට්‍ය බලන්නෙ නෑනේ. අලුතෙන් ආපු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඕනෑ තරම් සිටිනවා. ඒ වගේම අලුත් අධ්‍යක්ෂවරුන්. ඔවුන්ව අපි දන්නෙත් නෑ. අපි ඒ අයව දන්නෙත් නෑ. ඉතින් නොදන්න අයත් එක්ක වැඩ කරනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. අපේ මහන්සියට ප්‍රතිඵලයක් නැතිවුණොත් අපරාදෙනේ.

ඔබ කලාවට පිවිසෙන්නෙ..

2006 වසරෙදි නේචර් සීක්‍රට් රූ රැජන වෙමින්. ඉන් පසුව ‘කැප්රි ක්වීන් රූ රැජන‘ වුණා. එම ජයග්‍රහණවලින් පසුව වෙළෙඳ දැන්වීම් නිරූපණයට සම්බන්ධ වීමෙන් පසුව කලාවට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. නාලන් මෙන්ඩිස්ගෙ ‘සෙනෙහසට ආදරෙයි‘ මා රඟපෑ පළමු ටෙලි නාට්‍යය. ඉන් පසුව මුතු කිරිල්ලී, අමා, දූවරු වැනි ටෙලි නාට්‍ය විස්සක පමණ රඟපෑවා. ඒවායෙහි කළ චරිත තවමත් ප්‍රේක්ෂයන්ට මතක වුණාට අද හැදෙන නිර්මාණ එදාටවත් මතක නෑ.

ඔය චෝදනා කරන්නේ මෙගා ටෙලි නාට්‍යවලටද?

නැහැ. මමත් මෙගා රැල්ලෙන් ජනප්‍රිය වු රංගන ශිල්පිනියක්. එහෙත් අද තත්ත්වයට වඩා එදා වෙනස්. මිනිසුන් කාර්යබහුල වීම නිසා මේ තත්ත්වය ඇතිවෙලාද කියල හිතෙනව.

පවුලේ විස්තර කොහොමද?

සැමියා ප්‍රසංග ගුණසිංහ. ඔහුත් කලාවට සම්බන්ධයි. පුතාට වයස අවුරුදු පහයි. අපි දෙන්න විවාහ වෙලා මේ අවුරුද්දට වසර දහයක් වුණා . අපි සතුටෙන් පවුල් ජීවිතය ගත කරනවා.

ඔබේ නංගි බුවිනිත් කලාවෙන් ඈත් වෙලා?

එයාගෙ පෞද්ගලික හේතු නිසයි එයා කලාවෙන් ඈත් වුණේ. මමත් බබා ලැබෙන්න ඉන්න කාලයේ කලාවෙන් අයින් වුණා. එක එක්කෙනාගෙ දෛවය වෙනස් කරන්න බෑ.

රඟපාන්න ගිහින් අමතක නොවන සිදුවීම්වලට මුහුණ දුන්නෙ නැද්ද?

අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එක සැරයක් ‘දූවරු‘ ටෙලි නාට්‍යයේ රඟපාන්න ගිහින් අත කැඩුණා. එම රූගත කිරීම වුණේ රාත්‍රි කාලයේදී. මම බයිසිකලය පැදගෙන යනවිට කිඩ්නැප් කරන්න පිරිසක් පස්සෙන් එනවා. එකවරම බයිසිකලය කන්ට්‍රෝල් කරගන්න බැරුව ගිහින් වැටුණ පාර වම් අතේ ඇගිල්ල කැඩුණා.

ක්ෂේත්‍රයට අලුතෙන් එන අයට මොනවද කියන්න තියෙන්නේ..

මම කලාවට ඇවිත් අවුරුදු දොළහයි. මම ජනප්‍රියම කාලයේ, හොඳම වයසෙදි විවාහ වුණා. දරුවො හැදුවා. නවකයන්ට කියන්න තියෙන්නෙ ජනප්‍රියත්වය නැතිවෙයි කියා විවාහ නොවී ඉන්න එපා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිල ඉක්මනින් ජනප්‍රිය වනවා වගේම එහෙම නැති කාලයකුත් එනවා. මේ ක්ෂේත්‍රය සදාකාලික නෑ. අපි නිසි වයසෙදි ජීවිතේ හදාගත්තෙ නැති වුණොත් දවසක දුක් වෙන්න වෙනවා. ඒ නිසා ඔළුව කල්පනා කරල වැඩ කරන්න. නැත්නම් රැල්ලට දුවලා ආපසු හැරිලා බලද්දි අපිට මුකුත් ඉතිරි වෙලා නෑ.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post