රටක නීති­යෙන් කරන්න බැරි දේවල් කලා­ක­රු­ව­කුට කරන්න පුළු­වනි ගායන ශිල්පිනී වෛද්‍ය හිරුෂි ජ‍යසේන

0 May 09, 2019 09.47am Art

“ආදරයක සිත සොඳුරූ
කීව කතා මට නුහුරූ
දෑස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹූ”

 ඉතා ලස්සන අර්ථවත් පද පෙළක් සහිතව මියුරු ගී තනුවක් සමඟ නිර්මාණය වූ මෙම ගීතය වර්තමානයේ අන්තර්ජාලය තුළ ඉතා ජනප්‍රිය ගීතයකි. විශේෂයෙන් ම තරුණ පරපුර ඉතා ආදරයෙන් ශ්‍රවණය කරන ගීතයකි. ඒ සඳහා මෙම ගීතයේ තනුව, ගීතය සඳහා නිර්මාණය කර ඇති රූප රචනය මෙන්ම මෙම ගීතය ගයන ගායන ශිල්පිනිය සතු මියුරු හඬ සහ ගායන විලාශය හේතුවී ඇති බව පැහැදිලිය. මෙම ගීතය ලබා ඇති ජනප්‍රියතාවය නිසාම මෙහි හිමිකාරිය කවුරුන්දැයි අපි සොයා බැලුවෙමු. ඇය ගායන ශිල්පිනී හිරුෂි ජයසේනයි. හිරුෂි තවමත් යොවුන් වියේ පසුවන කලා ශිල්පිනියකි. වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි ධාරිනියකි. මනෝ වෛද්‍ය විද්‍යාව වැඩිදුරටත් හැදෑරූ අයෙකි. හිරුෂිගේ මව දක්ෂ ගායිකාවක වන මාධනී ජයසේනය. පියා ගායන ශිල්පියකු මෙන්ම ලංකාවේ ජනප්‍රිය විශේෂඥ වෛද්‍යවරයකු වන රනිල් ජයසේන ය. හිරුෂිගේ නවතම ගීතය නිර්මාණය වූ හැටිත්, ඇයගේ කලා දිවිය පිළිබඳවත් පසුගිය දිනෙක අපි ඇයගෙන් විමසා සිටියෙමු.

ඔබේ නවතම ගීත නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර මොන ව‍ගේද?

මම හිතුවටත් වඩා ඉතාම හොඳ ප්‍රතිචාරයක් දන්න අයගෙන් වගේ ම සමාජයේ මා නොදන්නා බොහෝ දෙනකුගෙනුත් ලැබෙනවා. සමහරු මට ස්තූති කරනවා මෙවැනි මියුරු ගීතයක් ඉදිරිපත් කිරීම ගැන. නමුත් මම මේ ගීතය ගැන වඩාත්ම ස්තූති කරන්නේ මෙහි ගී පද රචනා කළ මාලිනී ලිය‍නගේ මහත්මියට සහ පසන් ලියනගේට. පසන්ගේ ආදරණීය අම්මා තමයි මාලිනී මහත්මිය. ඒ වගේම මෙම ගීතයට රූප රචනය නිර්මාණය කළ ‘තාල රූප” ප්‍රඩක්ෂන් චමිල් පතිරණ ඇතුළු කණ්ඩායම නිර්මාණය කළ රූප රචනය මෙම ගීතය ජනප්‍රිය වෙන්න හේතු වුණු බ ව කියන්න ඕන.

‘ආදරයක සිත සොඳුරූ” ගීතය ඔබේ අතට ලැබුණේ කොහොමද?

හොඳ ගීතයක් නිර්මාණය කර ගැනීමේ වුවමනාව මට ටික කාලෙක ඉඳලා තිබුණා. ඔහොම ඉන්නකොට පසන් ළඟ තිබුණු මෙම ගීතය මම දැක්කා. ඒ පද පෙළ දැක්ක හැටියෙම මට දැනුණා එහි වචන හරිම වෙනස් විදියට භාවිතා කරලා තියෙන බව. ඒ ගීත රචනයේ අමුතු ම ලාලිත්‍යයක් තිබෙන බ ව මට පෙනී ගියා. ඒ අනුවයි මම ඒ පදමාලාව තෝරා ගත්තේ. ඒ පදවලට ගී තනුවක දල සැලැස්මක් පසන් ලියනගේ හදලා තිබුණා. ඒ තනුව තවදුරටත් දියුණු කරලා ඉතා ලස්සන ගීතයක් නිර්මාණයකරන්න පසන් ලියනගේට හැකි වුණා. මේ ගීතයේ රූප රචනයේදී රංගන ශිල්පී හේමාල් රණසිංහ හොඳ දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මෙහි නර්තන නිර්මාණ්‍ය සිදු කළ ලීසා ෆෙල් ෂිගර් ඉතාම අපූරුවට මෙහි නර්තනයන් නිර්මාණයකළා. ඒ හැම දෙනාගම උපරිම කැපවීම නිසයි මෙවැනි නිර්මාණයක් බිහි වුණේ. මගේ ගායන ජීවිතයට මේක සුබදායී ආරම්භයක්.

ගීත ගායනයට යොමු වුණු හැටි ඔබට මතකද?

මගෙ අම්මා, මාධිනී ජයසේන වෘත්තීය ගායන ශිල්පිනියක්. මට වයස අවුරුදු 6දී අම්මගෙ ගීත පටිගත කිරීමක් බලන්න ස්ටුඩියෝ එකකට ගියා. එතැනදි මම අම්මව අනුකරණය කරමින් අම්ම ගායනා කළ ගීතය ස්ටුඩියෝ එකේ මයික් එකට කිව්වා. එතැන හිටියා ප්‍රවීණ සංගීතඥයින් වන රෝහණ වීරසිංහ සහ එච්.එම්. ජයවර්ධන යන මහත්වරු. එච්.එම්. ජයවර්ධන මහත්මයා මට එතැනදී ගීතයක් නිර්මාණයකරලා දුන්නා. ඒ විදියටයි මගේ ගායන ජීවිතය ආරම්භ වුණේ. පාසලේදි විද්‍යා විෂයන් හැදෑරුවත් කලා අංශයෙනුත් ඉදිරියට යන්න විශාඛා විද්‍යාලය මට අවස්ථාව ලබා දුන්නා.

ඔබ නර්තනයත් හැදෑරුවා නේද?

ඔව් කුඩා කල පටන්ම මම නර්තනය හැදෑරුවා. භරත නාට්‍යම් ඩිප්ලෝමා එක හදාරලා අවසන් කළේ මට අවුරුදු 11 දි. සංගීතය වගේම නර්තනයත් මගේ ජීවිතයට ගොඩක් සමීපයි. පියානෝ, වයලීන් වාදනය හදාරලා ලන්ඩන් විභාගත් කරන්න අවස්ථාව ලැබුණා.

ඔබ හින්දි ගීතයකුත් ගායනා කළා නේද?

ඔව්. මෑතදී මම ඉන්දියාවේදී ඉන්දීය ජනප්‍රිය ගායන ශිල්පියකු වන ශාන් මුකර්ජි සමඟ නවතම හින්දි ගීතයක් ගායනා කළා. එම ගීතයේම කණ්ණඩ භාෂාවේ පරිවර්තනය කණ්ණඩ ගායන ශිල්පියකු සමඟ ගායනා කළා.

ඔබ වෘත්තියෙන් වෛද්‍යවරියක ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්. ඒ වගේම ඔබ කලාකාරිනියක්. මේවා අන්ත දෙකක විෂයන් නේද?

නැහැ. වෛද්‍යවරයෙක් කරන්නේ මිනිසුන් සුවපත් කිරීම. ඒ වගේම ගායන ශිල්පිනියක්, නැතිනම් කලා ශිල්පිනියක් කරන්නේත් මානසිකව මිනිසුන් සුවපත් කිරීම. මේ විෂයන් දෙකටම තියෙන්නේ එකම අරමුණක්. ඒ නිසා ඒවා අන්ත දෙකක විෂයන් ලෙස සැලකීම වැරැදියි. වර්තමානයේදී ලෝකයේ ප්‍රචලිත සංකල්පයක් තමයි සංගීත චිකිත්සාව (Music Therapy). එයින් සිදු කරන්නේත් මිනිසාගේ සිත සුවපත් කිරීම. රටක නීතියෙන් කරන්න බැරි දේවල් කලාකරුවකුට කරන්න පුළුවනි. රටක දීර්ඝ කාලීන වෙනස්කම් සිදු කිරීමේ හැකියාව කලාකරුවන් සතු වෙනවා. ඒ තරම් හැකියාවක් කලාවට තියෙනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post