ගීත­යක් ගැයී­මේදී පද පෙළේ අරුත මගේම කර­ග­න්නවා ගායන ශිල්පී ලක්ෂ්මන් හේවා­වි­තා­රණ

0 Apr 04, 2019 11.26am Art

‘නිහඬ ගී‘ ඒක පුද්ගල ගී ප්‍රසංගය අප්‍රේල් 05 වැනිදා ගම්පහදී
ආදරය වගේ නොවේ
අගහිඟ දැනේ ජීවිතේ..

ගීපද රචිකා ලක්මාලි හේවාවසම් ලියූ මේ ගීතය අසන්නට ලැබුණේ මීට බොහෝ කලකට පෙරය. ඒ ගුවන් විදුලි නාළිකා ඔස්සේය. සියුම් ශෝකී රාවයකින් මේ ගීය ගායනා කරන ඒ ප්‍රේමණීය හඬ කාගේ දැයි සොයන්නට වීමි. අවසානයේ ඔහු අපට හමු විය. ඒ මීට වසර දාහතකට පමණ පෙරය. ඔහු නම් ලක්ෂමන් හේවාවිතාරණය. නම එසේ වුවද ලක්ෂ්මන්ගේ සමීපතමයන් ඔහු ආමන්ත්‍රණය කළේ ‘නෝටී‘ යන ආදරණීය නාමයෙනි. කවදත් කලබලයක් නැතිව සෙමින් ඉදිරියට ගිය ඔහු අද වන විට සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් පැමිණ ඇත. බොහෝ කළ කට පසු අප යළිත් ඔහු ගැන ලියන්නට කල්පනා කළෙමු. ඒ ඔහුගේ අලුත්ම තොරතුරකුත් කියන්ටය.

ඒ ලක්ෂ්මන් ගී ගයන ‘නිහඬ ගීතය‘ ප්‍රසංගයයි.

“ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න කවදාවත් මගේ හිතේ අදහසක් තිබුණේ නැහැ. නමුත් එක්තරා කණ්ඩායමක් ඇවිත් මට ආරාධනා කළා ගී ප්‍රසංගයක් පවත්වමු කියලා. මම ඒ ගැන හිතුවා. අවසානයේ මම ඊට කැමැති වුණා. මම ඔවුන්ට කිව්වේ සියල්ල ඔවුන්ට සංවිධානය කරන්න. මම ඇවිත් ගී ගයන්නම් කියලා. මගේ මුල්ම ‘නිහඬ ගීතය‘ ප්‍රසංගය පැවැත්වුවේ මාතලේ. ඉන්පසු නුවර. තුන්වැනි ප්‍රසංගය තමයි අප්‍රේල් මස පස්වැනිදා ගම්පහ වික්‍රමබාහු විද්‍යාලයේ පවත්වන්නේ. පසුගිය කාලය තුළ මා විසින් ගැයූ අලුත් පරණ ගී මේ ප්‍රසංගයේදී ගැයෙනවා. “

කලක් යුරෝපයේ ජීවත් වූ නෝටි ගායනයට පිවිසෙන්නේ අහම්බෙනි. ඒ අහම්බය සිදුවන්නේ නැසීගිය ගායන ශිල්පී විශාරද ගුණදාස කපුගේ අතිනි.

“මගේ පවුලේ හැමදෙනාම ඉන්නේ විදෙස් ගතවෙලා. මම මෙහෙ ඉන්නකොට අක්කා මාව ප්‍රංශයට ගෙන්න ගත්තා. අවුරුදු ගාණක් මම හිටියේ ප්‍රංශයේ. එහේ මගේ යාළුවන්ට සංගීත කණ්ඩායමක් තියෙනවා. ප්‍රංසයේ ප්‍රසංග පැවැත්වෙනකොට අපේ සංගීත කණ්ඩායම වාදනයෙන් සහාය වෙනවා. මගේ යාළුවෝ සිංදු කියනවා. ඒත් මම සංගීත භාණ්ඩ වාදනය කළාට මට ගායනා කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. දවසක් ප්‍රංගයකට කපුගේ අයියා ආවා ප්‍රංශයට. අපි හැමෝම ඉන්න අවස්ථාවේ කපුගේ අයියා මට කිව්වා උඹ හැමදාම මඟ අරිනවා. අදනම් සිංදුවක් කියන්න ඕනමයි කියලා. කපුගේ අයියගෙ වදේට තමයි මම සිංදුවක් කියන්න ගත්තේ. සිංදුවේ ටිකක් කියන කොට කපුගේ අයියා කිව්වා උශට ලස්සන හඬක් තියෙනවා කියලා. ලංකාවට ආවාම කියන්න මම ගානේ ලස්සන සිංදුවක් හදලා දෙනවා කිව්වා. ටික කලකින් මම ලංකාවට ආවා. ඒ ආවාම ඔහු කියපු විදිහටම මට ගීතයක් හදලා දුන්නා. ඒ තමයි ‘ආදරය වගෙ නොවෙයි‘ ගීතය.‘‘

ලක්ෂ්මන් අතීතය සිහිකරන්නේ එලෙසිනි.

ආධුනිකයකු වුවද ඔහුගේ හඬට එදවස රසිකයෝ පෙම්බඳින්ට වූහ. එදවස පමණක් නොව අදද ඔහුගේ ප්‍රේමණීය හඩට රසිකයෝ පෙම්බදින්නාහ. මෙතරම්ම ඒ හඬ ප්‍රේමණීය වූයේද, විරහාත්මක වුයේද කෙලෙසින්දැයි ලක්ෂ්මන් ගෙන් ඇසීමි.

“ඒක මෙහෙමයි වෙන්නේ. මම ගීතයක් ගැයීමට තෝරා ගැනීමේදී එහි පද පෙළ ගැන බොහෝම කල්පනාකාරි වෙනවා. ඒ වගේම තමයි පද පෙළේ තියෙන්නේ විරහවද, ප්‍රේමයද කියලා බලන මම ඒ ගීතය ගැයීමේදී මගේ ජීවිතයේ අත්දැකීම් සිතට නගා ගන්නවා. මම පද පෙළේ ඇති අරුත මගේම කර ගන්නවා. ඒ නිසා වෙන්නැති රසිකයෝ කියන්නේ මගෙ හඬ දුක්බරයි කියලා. “

පාසල් වියේ සිටම සංගීත භාණ්ඩ වැයිමේ දක්ෂයකු වූ ලක්ෂ්මන් එකල සංගීතය හදාරන්නේ විශාරද දයාරත්න රණතුංගයන්ගෙනි.

මේ දිනවල ඔහු ලංකාවේ පදිංචිව සිටියද ඔහු වැඩිපුර සිටින්නේ විදෙස් ගතවය. ඔහු බොහෝ විදෙස් ප්‍රසංගවලටද සහභාගි වෙන්නේය.

“මම කාලයක් හිටියේ විදෙස් ගතව. ඒ නිසා මගේ ඇවතුම් පැවතුම් යුරෝපයේ විදිහට වෙන්න ඇති. මම කැමැතියි බොහෝම සැහැල්ලුවෙන් අනුන්ගේ දේවල් සොයන්නේ නැතිව මගේ පාඩුවෙ ජීවත් වෙන්න. ඇවතුම් පැවතුම් යුරෝපයේ විදිහට වුණත් මගෙ සිතුම් පැතුම් ශ්‍රී ලාංකිකයි. මම කවදාවත් තරගයට සිංදු කියන්න යන්නේ නැහැ. මම වෙළෙද භාණ්ඩයකුත් නෙමෙයි. මම බොහෝම හිමින් ගමනක් යන කෙනෙක්.“ ලක්ෂ්මන් තමන්ගැන පවසන්නේ එසේය. ඔහුගේ කතාවේ ඇත්තක් ඇතැයි සිතෙන්නේ ඔහු ජනප්‍රියත්වය පතා මාධ්‍ය පසුපස දුවන්නෙක් නොවන හෙයිනි. මීට කළකට පෙර ලක්ෂ්මන් විසින් ගයන ලද ‘හන්තානේ සෙලවෙන්න දුක් සුසුම නොහෙලන්න‘ ගීතය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අගැයීමට ද ලක්විය.

ලක්ෂ්මන් මහ ගොඩක් ගී ගයා නැත.

නමුදු ඔහු ගැයු සෑම ගීතයක්ම රසිකයා අතර අදත් රැඳී ඇත.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post