අද ඇහෙන්නේ ගීත නෙමෙයි අ‍ඳෝනා­වල්

0 Dec 29, 2018 09.28am Art

ඔහු කවරකුද යන්න හඳුන්වා දෙන්නට අමුතුවෙන් අටුවාටිකා අවශ්‍ය නැත. ඒ මේ වන විටත් සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත‍යින් අතර ඔහු ද ඉහළම නාමයක් දිනා ගනිමින් සංගීත ක්ෂේත්‍රයට මහත් වූ මෙහෙවරක් කරළීමට උරදී ඇති නිසාවෙනි. ජගත් වික්‍රමසිංහ නම් මෙම සංගීතවේදියා එදා මෙදා තුර එකසේ තම ජනප්‍රියත්වය රඳවා ගැන්මට සමත් වූයේ ඔහුගේ හඬ පෞරුෂයේ අභිමානවත් බව තම සංගීත ඥානය තුළින් ඉහළම මට්ටමක පවත්වාගන්නට හැකියාව උරුම කරගත් සංගීතඥයකු වූ නිසාමය.

අප ඔහු සමඟ මෙවන් කතිකාවක යෙදුණේ අද මහත් වූ සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් ප්‍රමිතියක් නොමැති වූ හරසුන් ගීත එකම කන්කරච්චලයක් ලෙස බොහෝ අයගේ වි‍ෙව්චනයට නොරිස්සුමට ලක්ව තිබෙනුයේ මන්ද යන්න පිළිබඳව ඔහගේ අදහස් දැන ගැන්මේ අටියෙනි.

 

මීට වසර ගණනාවකට පෙර සංගීත ්ෂේත්‍රයේ ඉතාමත් ගෞරවාන්විත බවක් තිබුණා. දැන් එන්න එන්නම එම තත්ත්වය හෑල්ලුවට ලක්වෙමින් පිරිහෙමින් පවතිනවා. ප්‍රවීණ සංගීතවේදියකු හැටියට ඔබ මෙම තත්ත්වය දකින්නේ කොහොමද?

“1988 දී වගේ අපි මෙම ක්ෂේත්‍රයට එන කාලේ ඉතාමත් පිරිපුන් සංගීත ක්ෂේත්‍රයක් තමයි තිබුණේ. එයට හේතුව තමයි ඒ කාලේ එම ක්ෂේත්‍රයේ හිටිය ප්‍රවීණයින් තුළ තිබුණ දැනුම් සම්භාරය. ඉතාමත් හොඳ විශිෂ්ට සංගීතයක් හොඳ ශික්ෂණයක් පැවැත්මක් තිබුණා. දැන් වගේ සංගීත විෂය පිළිබඳව දැනුමක් නොමැතිව මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න බෑ. මොකද ලොකු තරගකාරී මට්ටමක් තිබුණා. දැන් ඒ තියෙන තරගකාරී බව ගැන කියනව නම් වර්තමානයේ කරන්නෙ හැම තැනින්ම නෙරපන දේවල් අරගෙන තවත් තැනකින් ඉස්මතු කරන්න හදන එක. ඒ කාලේ ගීතයක් ගායනා කරන්න නම් ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වෙන්නම ඕන. කටහඬ පරීක්ෂණයෙන් සමත් වීම අවශ්‍යයි. ගායනා කරන ගී පද මාලා වුණත් තේරීම් කමිටුවකින් අනුමත වෙන්නට ඕන. අද එවැනි තත්ත්වයක් නෑ. එම නිසයි අද සංගීතය අයාලේ යන තත්ත්වයකට පත්ව තියෙන්නෙ. මොනවා හරි දෙයක් කියලා ගායක ගායිකාවක් වෙන්නයි අද වැඩිදෙනකුට අවශ්‍ය වෙලා තියෙන්නේ.

 

මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ කුමක් නිසා කියලද ඔබ කියන්නේ?

මෙහෙමයි නිදහස මිනිස්සුන්ට අවශ්‍ය වුණාට වෘත්තීය මට්ටමෙන් සිදුවිය යුතු දේ ඒ මට්ටමෙන් සිදුවිය යුතුයි. පාසල්වල වුවත් පළමුවැනි ශ්‍රේණියේ සිට දොළොස්වැනි ශ්‍රේණිය දක්වා ශ්‍රේණිගත කිරීමක් තිබෙනවා. පළමුවැනි පන්තියේදී ම දොළොස්වෙනි පන්තියට අදාළ විෂයන් ඉගෙන ගෙන ඉවර කරන්න බෑ. මුල සිට දැනුම ලබමින් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන්න ඕන. මෙය අප ක්‍රමානුකූලව ආ යුතු ගමනක්.

ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අසන්නට පුළුවන් නිර්මාණයක් තමයි අපි කරන්නට ඕන. එතැනදී අපි ගීතයෙන් කියන දේ ගයන්න යන දේ පාවිච්චි කරන වචනවල සාහිත්‍යමය බවක් අර්ථවත් බවක් තිබෙනවාද යන දේවල් ගැන වඩාත් පරිස්සම් වෙන්නට ඕන. එම අභියෝගය ජයගන්නට නම් අප ශ්‍රේණිගත විය යුතුයි. නැත්නම් වෙනත් ක්‍රමවේදයක් තිබෙන්නට ඕන.

අපේ ප්‍රවීණ සංගීත ශිල්පීන් මේ පිළිබඳව වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කොට සැලකිය යුතු දෙයක්. නමුත් අද එම ප්‍රවීණයින් කෙරෙහි කිසිම ගරුසරුවක් සැලකීමක් නෑ. ඒ අයගෙන් විමසා කටයුතු කිරීමක් ගුරුහරුකම් ලබා ගැනීමක් නෑ. තම තමන්ට හිතෙන විදිහටයි හැම දෙයක්ම සිදුවන්නෙ. එම තත්ත්වය හොඳ නිර්මාණයක් එළිදැක්වීමට ප්‍රමාණවත් නෑ කියන එකයි මගේ හැඟීම. අද හැම අතින්ම දක්නට ලැබෙන්නේ පිරිහීමක් විතරයි.

 

අද නව පරපුරේ ඇතැම් අය ගයන ගීත විවේචනයට හසුවන අවස්ථා බොහොමයි. මෙයට හේතුව ඔවුන් තුළ සංගීතය පිළිබඳව නිවැරැදි දැනුමක් නොමැති වීමද? නැත්නම් ජනප්‍රියත්වය පසුපස හඹා යමින් ගායක ගායිකාවන් වීමට දරන උත්සාහයද?

බොහෝවිට සංගීත ක්ෂේත්‍රයට එකතුවන තරුණ පිරිස් හිතන්නේ මෙය වෘත්තියක් කියලා. නමුත් මෙහි යම්කිසි ස්ථාවරයකට එනවා කියන එක ඉතාමත් සංකීර්ණ දෙයක්. මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීමෙන් පසුව එම ශිල්පීන්ගේ පුහුණුව, අධ්‍යාපනික තත්ත්වය, නීති ගරුකව කටයුතු කිරීමේ ඇති අ‍වබෝධය ඉතා වැදගත් වනවා. දැන් මෙයට එන වැඩි දෙනකුට ඒ දේවල් ගැන අවබෝධයක් අවශ්‍ය වන්නේ නෑ. ඕන දෙයක්. ඕන විදිහට ඕනැම තැනක කියන තැන ඉන්නවා කියන එක ප්‍රශ්නයක්.

මම මේ කියන්නේ මෙම ක්ෂේත්‍රයට අලුතින් එන හැමෝම ගැන නෙවෙයි. දැනුමක් ඇතිව ඉන් පරිපූර්ණව ක්ෂේත්‍රයට එන අයද නැතුවා නෙවෙයි.

ගායන ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් ඒ හා සම්බන්ධව කිසියම් පාසලක් හරහා නියමිත ක්‍රමවේදයක් තුළින් ශ්‍රේණිගත කිරීමක් හරහා එයට අවතීර්ණ විය යුතුය. නමුත් වැඩිදෙනකුට අවශ්‍ය වී තිබෙන්නේ කොහොම හරි ගීතයක් කියලා එය ප්‍රසිද්ධ කර ගන්නටයි. එහි හොඳ නරක ගැන තැකීමක් වගකීමක් නෑ.

ඇතැම් අය ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ගයමින් ඒ හරහා ජනප්‍රියවීමට දරන උත්සාහය අපේ ප්‍රවීණයන්ගේ ගීතවලට හානිකර වෙන්න පුළුවන් නේද?

අනිවාර්යයෙන් ම හානිකර තත්ත්වයක් තමයි දැන් ඇතිවෙලා තියෙන්නේ. කවුරුවත් මේ දේවල් ගැන කතා කරන්නේ නෑ. ඒකේ හේතුවක් තමයි අපේ ප්‍රවීණ ගායක ගායිකාවන් වියපත් අය බවට පත්ව සිටීම. පැරැණි ගායක ගායිකාවන්ගේ ගීත හොරකම් කරන එක මංකොල්ල කන එක කෙළවරක් නෑ. එම ගීත අනිසි විදිහට පරිහරණය කරනවා. අහිංසක ශිල්පීන්ගේ නිර්මාණ විකෘති කරනවා. මෙයට කිසිම නීති රීති මාලාවක් නෑ. තමන්ගේ ගීතවලට සිදුවන මෙම අසාධාරණය ගැන හඬක් නගන්නට ගියොත් කියන්නේ මේ ප්‍රවීණයින් තමන්ගේ හැකියාවන්ට පහර ගසනවා කියලා. ඒ නිසා වෙන විදිහකට ගියාවේ කියලා ඔවුන් නිහඬව කට පියාගෙන ඉන්න තත්ත්වයක් තමයි මම දකින්නේ.

 

ඒ ආකාරයෙන් මේ ක්ෂේත්‍රයට එන්න හදන අයගේ ඉදිරි ගමනට පැවැත්මක් තියෙනවද?

කොහෙත්ම නෑ. ප්‍රවීණයින්ගේ ගීත අනුකරණය කරමින් තමයි ගොඩාක් අය ඉදිරියට එන්න උත්සාහ කරන්නේ. අඩු තරමින් ඒ අයගේ ආශිර්වාදය හෝ ඇතුව නෙමෙයි. නමුත් පැරැණි ගායන ශිල්පීන් සතු දේපළ කියන්නේ ඔවුන් සතු ඉඩකඩම් ගේදොර දේපළ නෙවෙයි ඔවුන් ‍වෙහෙස මහන්සි වී කැපවීම් කර බිහි කළ නිර්මාණයි. එම හොඳ ගීත අරගෙන ‘කවර් වර්ෂන්’ කරනවා කියලා බොරු කතන්දර කියමින් ඒවා විකෘති කරලා කියනවා කියා ගන්න බැරි නිසා. අනන් මනන් වචන ටිකක් දාලා එහි සංගීතය වෙනස් කරලා ගීතය මැදින් කවර් වර්ෂන් යොදනවා. ඊට පස්සේ දඩි බිඩි ගාලා ඒකට විෂුවල් එකක් කරලා යූ ටියුබ් හරි වෙන වෙබ්සයිට් වල හරි තියෙන ඉඩකඩ මේ අය අත්පත් කර ගන්නවා. මෙහිදී නියම ගායන ශිල්පියාගේ මුල් ගීතය ටයිප් කර බැලුවොත් එන්නේ අර කවර් වර්ෂන් පෝලිමයි.

සමහරුන් මෙම ක්ෂේත්‍රයට එන්නේ සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමටවත්, රස වින්දනය ගොඩ නැගීමටත් නෙවෙයි. ඔවුන්ගේ අරමුණ තියෙන්නේ වෙන තැනකයි. නමුත් යථාර්ථය නම් ඒ අයගේ අරමුණ විය යුත්තේ තමන් කරන නිර්මාණය සමාජයේ යහපත ගොඩනැගීමට සහ දෙවනුව රසවින්දනය ඇති කිරීමටයි.

 

ඇයි මෙම ක්ෂේත්‍රයේ වගකිව යුත්‍තන් මෙයට හඬක් ‍නගන්නේ නැත්තේ?

එය කරන්න ඕන සංස්කෘතික අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වගේ වගකිව යුතු ආයතන හරහායි. ඒ තුළින් මෙවන් දේ සඳහා ප්‍රමිතිගත කිරීමක් තිබෙන්නට ඕන. එතකොට වැඩකට නැති අරුත්සුන් ගීත කිරීම නවත්වන්නට පුළුවන්. ඒත් මෙයට රාජ්‍ය මට්ටමේ සම්බන්ධ වීමක් නෑ අදාළ නීති මාලාවක් සකස් වී නෑ. වගකීමකින් යුතුව මේ සම්බන්ධව කටයුතු කෙරෙනවා නම් මේ වට මඩ ගහගන්න ආරවුල් ඇති කරගන්න අවශ්‍ය නෑ. එතකොට ඒ විධිමත් රාමුව තුළින් තමයි නියම ආකාරයට සංගීත අංශයෙන් පරිපූර්ණ කෙනෙක් පිටතට පැමිණෙන්නේ.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post