නත්තලට හැඩ වුණු ශෙහානි

0 Dec 28, 2018 10.29am Art

සරුංගල් දැන් තිරයේ පාවෙන්න අරගෙන. එහි නිර්මාණ පසුබිම ගැන මුලින්ම කතා කරමු.

පසුගිය වසරෙදී තමයි මම 'සරුංගල්' කියන පිටපත ලිව්වේ. තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමැති වුණා. 'නීරෝ' ආයතනය තමයි එය නිෂ්පාදනය කළේ. මේ චිත්‍රපටය ගොඩක් අය නිෂ්පාදනය කරන්න කැමැති වුණේ නැහැ. නමුත් 'නීරෝ' ආයතනය චිත්‍රපටය නිෂ්පාදනය කරන්න එකතුවුණු නිසා එය රූගත කරලා මේ වසරේ තිරගත කරන්න අවස්ථාව ලැබුණා. දැන් එම්.පී.අයි. මණ්ඩලයේ සිනමාශාලාවල චිත්‍රපටය තිරගත වෙනවා.

සමහරු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අකැමැති වුණේ ඇයි?

පිටපත බැලුවම ඒ අයට දැනෙන්න ගත්තේ පිටරට ගිහින් සම්මාන ගන්න කරපු වැඩක් වගේ අදහසක්. නිර්මාණය ගැන සැලසුම තිබ්බේ මට. මම විස්තර කළ දේ 'නීරෝ' ආයතනය හඳුනාගත්තා. ඔවුන් ලොකු පිරිවැයක් දරලා හොඳම දේවල් ටික මට එකතු කරලා දුන්නා. උමාරියා, භාචි වගේ ගායන ශිල්පීන්, ඒ වගේම වර්ණ සංයෝජන පිරිස මට උපරිම පිරිවැයක් දරලා එකතු කරලා දුන්නා.

ලංකාවේ විවිධ චිත්‍රපට වර්ගීකරණ තියෙනවනේ. 'සරුංගල්' කුමන වර්ගයකට අයත් වන චිත්‍රපටයක්ද?

මෙය කලාත්මක පැත්තට බර චිත්‍රපටයක්. නමුත් වාණිජ ලක්ෂණත් මේ චිත්‍රපටය තුළ තිබෙනවා.

කලාත්මක චිත්‍රපටයක් කරන්න ඕනෑකම තියෙද්දී ඒකට වාණිජ ලක්ෂණ එකතු කරන්න හිතුවේ?

මම කියන දේ මිනිස්සු අතරට ගෙනියන්න වාණිජ ලක්ෂණ තියෙනවා නම් පහසුයි. හැබැයි මම චිත්‍රපටයට හිතාමතා වාණිජ ලක්ෂණ ඔබ්බලා නැහැ. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය ග්‍රහණය කර ගැනීමේදී අවශ්‍ය වෙන ලක්ෂණ තියෙනවා. මම විශ්වාස කරනවා නිර්මාණයක් කලාත්මක හෝ වාණිජ කියලා බෙදන්න බෑ. ප්‍රේක්ෂකයන්ගේ දැනුම, බුද්ධිය, අධ්‍යාපන මට්ටම අනුව රසවිඳින නිර්මාණ තෝරා ගන්නවා. චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න අවශ්‍ය ලක්ෂණ තමයි චිත්‍රපටය අන්තර්ගත කරලා තියෙන්නේ.

ඒ කියන්නේ චිත්‍රපටයක් නරඹන්න ප්‍රේක්ෂකයෝ ඇදබැඳ ගන්න සාධක ඔබ අනුගමනය කළා කියන එකද?

මගේ නිර්මාණය ප්‍රේක්ෂකයෝ වැලඳ ගනියි කියලා හිතනවා. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තියෙද්දී තමයි චිත්‍රපටය කොයි තරම් දුරට සාර්ථකද කියලා හොයා ගන්න පුළුවන්. චිත්‍රපටයක් ප්‍රේක්ෂකයෝ අතරට යන්න බාහිර සාධකත් එකතු වෙන්න ඕන. ගාමිණී, පත්තිනි වගේ චිත්‍රපට ඒ වගේම සෝමරත්න දිසානායක මහත්මයාගේ චිත්‍රපට ගොඩක් අය වැලඳ ගත්තා. ප්‍රේක්ෂකයෝ ඇද බැඳ ගන්න පුළුවන් නිර්මාණ කළොත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය බලයි. මම ඒ මට්ටමට චිත්‍රපටය කළා. නමුත් ප්‍රදර්ශන අර්බුද රාශියක් දැන් තියෙනවා. හෝල් හරියට නෑ. සමහර හෝල්වල ඉඳගන්න ආසනයවත් හරියට නෑ. වැසිකිළි පහසුකම් නෑ. මේ වගේ බාහිර කාරණාත් චිත්‍රපටය දුවන්න හේතු පාදක වෙනවා. තනිකරම නිර්මාණ ශිල්පියාට වගකීමක් දරන්න බෑ. නමුත් නිෂ්පාදකවරයාව අතරමං නොකර කරන වැඩේ කරන්න නිර්මාණකරුවෝ දැනගන්න ඕන.

මේ වගේ හැඩතලයක නිර්මාණයක් ප්‍රේක්ෂකයෝ කොයි තරම් ග්‍රහණය කර ගනියිද?

මම චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ සරල ආකාරයෙන්. ඕන කෙනකුට රසවිඳින්න පුළුවන් විදියට මෙය නිර්මාණය කරලා තියෙන්නේ. සමහර අය කැමැති ෆයිට්, නැටුම් ගැයුම් තියෙන චිත්‍රපටවලට. හැබැයි මේක එවැනි චිත්‍රපටයක් නෙවෙයි. නමුත් අවශ්‍ය වෙන විදියට අවස්ථා උද්දීපනය කරන්න ගීත තුනක් චිත්‍රපටයට එකතු කරලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ නිර්මාණය කොයි තරම් දුරට වැලඳගනියිද කියල බලමු.

මේ චිත්‍රපටය හරහා ඔබට සමාජගත කරන්න අවශ්‍ය වුණේ මොන වගේ කාරණයක්ද?

ඇත්තටම මම විවාහ වුණාට පස්සේ ලබපු අත්දැකීම් මට මේ චිත්‍රපටයට ලියන්න පසුබිම හැදුවා. ස්වාමිපුරුෂයා හා බිරිය එකිනෙකා වෙනුවෙන් කැපවීම් නොකරන නිසා ඇතිවන ප්‍රශ්න ගැන කතා කරන චිත්‍රපටයක් ලියන්නයි මට ඕන වුණේ. අද ගොඩක් අය කසාද බඳිනවා වගේම දික්කසාද වෙනවා. මේ කාලේ දික්කසාද වීමේ ප්‍රවණතාව වැඩියි. ඒ දෙදරා යෑම්වලට හේතුව හඳුනාගත යුතුයි. එය හඳුනා ගැනීමට හැකි විෂයක් තමයි චිත්‍රපටයෙන් මම කතා කරලා තියෙන්නේ.

නිර්මාණයට දායක වන පිරිස මතක් කළොත්?

චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර ඇතුළු පිරිස රංගනයෙන් සම්බන්ධ වෙනවා. උමාරියා, භාචි, ටෙහානි ඉමාරා මෙහි ගායනයට සම්බන්ධ වෙනවා. ගී පද රචනයට සම්බන්ධ වුණේ ෂෙහාන් ගලහිටියාව සහ අචල සොලමන්ස්. සංගීත නිර්මාණය රංග දසනායකගේ. කැමරා අධ්‍යක්ෂණය මංජුල කුමාරතුංගගේ. සංස්කරණයට සම්බන්ධ වුණේ තිලංක පෙරේරා සහ පසිඳු පෙරේරා. වර්ණ සංයෝජනය කළේ ශාන් අල්විස්.

ඔබේ නිර්මාණවලින් අලුත් මුහුණු හඳුන්වා දෙනවා. මේ නිර්මාණයෙන් ඔබ සිනමාවට අලුත් මුහුණක් හඳුන්වා දීලා තියෙනවා නේද?

මගේ මුල්ම නිර්මාණයේ ඉඳන්ම මම අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් හඳුන්වා දීලා තියෙනවා. මම පිටපතේ ලියන චරිතයට මගේ හිතේ ඇඳුණු රූපයක් තියෙනවා. ඒ බාහිර ස්වරූපය ගැළපෙන රංගන පරාසයක් තියෙන අය තමයි මම තෝරා ගත්තෙ. ඒ විදියට මම මේ චිත්‍රපටයට චමත්කාව තෝරා ගත්තා. මම හිතන්නේ චිත්‍රපටවලට අලුත් අලුත් අය එන්න ඕන. චිත්‍රපටයකට නළු නිළි වරණය කරද්දී නිළියන් නැහැ තෝරාගන්න. ගොඩක් ඉන්නේ ටෙලිවිෂනයෙන් පෙනෙන මුහුණු ටිකක්. ඒ අයව බලන්න චිත්‍රපට ශාලාවකට ප්‍රේක්ෂකයෝ එන්නේ අඩුවෙන්.

ප්‍රධාන චරිතවලින් ඔබට අවශ්‍ය වුණු රංගනය උකහා ගන්න පුළුවන් වුණාද?

චමත්කා අලුත් කෙනෙක් විදියට චිත්‍රපටයට එකතු වුණත් කිව්ව දේවල් හරියට අවබෝධ කරගෙන රඟපෑවා. අනෙක් ශිල්පීන්ට ක්ෂේත්‍රයේ අත්දැකීම් තිබ්බ නිසා ඔවුන්ගේ දායකත්වය ඔවුන් හොඳින් ලබා දුන්නා.

රූපාන්තරණ, අනිත්‍යා වගේ ඔබ නිර්මාණ කරපු අනෙක් චිත්‍රපටත් එක්ක බලද්දී 'සරුංගල්' තියෙන්නේ ඊට වඩා ඉදිරියෙන්ද? පිටුපසින්ද?

මම විශ්වාස කරනවා ඒ නිර්මාණවලට වඩා වෙනස් තැනක සරුංගල් චිත්‍රපටය තියෙනවා.

එක එක පුද්ගලයන්ට නිර්මාණකරණයේ විවිධ අරමුණු තියෙනවා. ඔබේ අරමුණ මොකක්ද?

අපි කරන නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕන. එතකොට නිෂ්පාදකයාටත් ආදායමක් ලැබෙනවා. ඊට පස්සේ අපිට තවත් නිර්මාණයක් කරන්න හරි සහයෝගය ගන්න පුළුවන්. සම්මාන අරමුණු කරගෙන කරන චිත්‍රපටවලින් නම් චිත්‍රපට කර්මාන්තයට සෙතක් වෙන්නේ නෑ. චිත්‍රපට කර්මාන්තය දියුණු වෙන්න නම් චිත්‍රපට අඩුම තරමේ ප්‍රදර්ශනය වෙන්නවත් ඕනේ. දැන් ලංකාවේ තියෙන සමහර සම්මාන උළෙලවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කලාත්මක ගණයේ කියන නිර්මාණවලින් තමයි හොඳම නළුවා, නිළිය, අධ්‍යක්ෂවරයා, චිත්‍රපටය තෝරාගන්නේ. වැඩිම ආදායම් ලබපු වාණිජ චිත්‍රපටවලට ඒ අවස්ථා ලැබෙන්නේ නැහැ.

එය නිවැරැදි කරන්න මොකක්ද ඔබේ යෝජනා?

වාණිජ සහ කලාත්මක නිර්මාණ ඒ ඒ විදියට මනින්න ඕන. චිත්‍රපට කර්මාන්තයට සේවයක් වෙන නිර්මාණවලට ඇගැයුමක් නොලැබුණාම ඒ නිර්මාණකරුවෝ ආපස්සට යනවා. සමහර සම්මාන උළෙලවල අපි නොදැකපු චිත්‍රපටවලට සම්මාන ලැබෙනවා. සම්මාන උළෙලවල විනිශ්චය මණ්ඩලය කර්මාන්තය ගැනත් හිතලා තීරණ ගන්නවා නම් හොඳයි. ඒ වගේම කර්මාන්තයේ ප්‍රශ්නවලට ඉහළ නිලධාරීන් දෙන තීන්දු තීරණවලට තැළෙන්නේ පහළ ඉන්න අපි වගේ නිර්මාණකරුවෝ. ඒ නිසා ඉහළ නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි කර්මාන්තයේ හොඳ අනාගතයක් වෙනුවෙන්.

ඔබේ නිර්මාණය රටින් පිටට ගෙනියන්නේ නැද්ද?

ඕස්ට්‍රේලියාව, ඉතාලිය වගේ රටවල් කිහිපයක සංවිධාන මඟින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න ඉල්ලීම් ඇවිත් තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටය ඒ වෙනුවෙන් යොමු කරනවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post