පුංචි පුතාට උපේඛාගෙන් ගීත හාදුවක්

0 Dec 27, 2018 09.17am Art

උපේඛා හා හා පුරා කියලා මවක් වුණානේ. දැන් හිටියටත් වඩා සතුටින් ඇත්තේ?

ඔව්, මම ජීවිතේ පළමු වතාවට මවක් වුණා. ඇත්තටම පුතා අපේ ජීවිතයට ආවම පුදුම සතුටක් දැනුණේ. ඒ තරම් වෙන සතුටු අත්දැකීමක් ජීවිතේ නැතුව ඇති. ඒක හරිම ආදරණීය අත්දැකීමක්. පසුගිය නොවැම්බර් 14 වැනිදා තමයි පුතා අපේ ලෝකයට එකතු වුණේ.

උපේඛා පුතෙක්ට නේද කැමැත්තෙන් හිටියේ?

අපි දෙන්නම කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. ඒත් පස්සේ අපි දුවෙක් වුණත් පුතෙක් වුණත් ආදරයෙන් පිළිගන්න බලාගෙන හිටියේ. මාස පහක් වගේ යද්දී මට පුතෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තා. අපිට ආදරණීය පුතෙක් ලැබුණා. හරිම සතුටුයි.

පුතාගේ හැඩහුරුකම් කවුරු වගේ කියලාද වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?

ගොඩක් අය දරුවෙක් ලැබෙන්න ඉද්දී කාමරයේ බබාලගේ ඡායාරූප එල්ලනවනේ. මම නම් කාමරයේ බිත්තිවල එල්ලුවේ වෙන රටවල බබාලගේ ඡායාරූප නෙවෙයි. මගේ මහත්තයාගේ පුංචි කාලේ ඡායාරූප තමයි මට පේන්න තියාගත්තේ. මොකද මට ඕන වුණේ මගේ සැමියා වගේම පුතෙක්. ඉතිං මට ලැබුණේ එයා වගේම හැඩහුරුකම් තියෙන පුතෙක්. පාටත් තාත්තගේ වගේ. මම කැමැතියි පුතා තාත්තා වගේම ගතිගුණ තියෙන කෙනෙක් වෙනවට.

පුතා උපේඛා වගේ වෙනවට කැමැති නැත්තේ ඇයි?

මම චුට්ටක් විතර සැරයි. ඒ නිසා මම කැමැතියි පුතා තාත්තා වගේ වෙනවට.

මවකගේ වගකීම් උපේඛාට දැන් ගොඩක් දැනෙනවා ඇති?

අනිවාර්යයෙන්ම. බබා හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳන්ම මම වගකීමෙන් වැඩ කළේ. පුතා හම්බෙන්නත් කලින් ඉඳන් මම එයාව ඉස්කෝලේ යවන විදිය, එයා කසාද බඳින ජීවිතය ගැන පවා ගොඩක් හිතලා තිබ්බේ. මම සාමාන්‍යයෙන් පොඩි දේ ගැන වුණත් ලොකුවට හිතන කෙනෙක්. දැන් පුතා අපේ ළඟට ඇවිත්. හැම වගකීමක්ම මමයි මහත්තයයි එකතුවෙලා එයා වෙනුවෙන් ඉෂ්ට කරනවා.

දරුවන්ගේ වැඩ රාජකාරිවල වගකීම වැඩිපුර දරන්නේ අම්මලාලු. උපේඛාත් එහෙමද?

අපේ ගෙදර තත්ත්වය ඊට වඩා වෙනස්. මොකද මගේ මහත්තයා පුතාගේ වැඩවලට ගොඩක් උදවු කරනවා. අපි දෙන්නම නිදිවරනවා. පුතාගේ නැපි මාරු කරන වැඩ, එයා බලා ගන්න හැමදේටම උදවු කරනවා. ඒක මට පුදුමාකාර හයියක්.

ඒ කියන්නේ හොඳ සැමියෙක් උපේඛාට මුණගැහිලා තියෙන්නේ?

ඇත්තටම ඒක මගේ වාසනාවක්. මම වාසනාව කියන දේ ගැන ඒ තරම් හිතපු කෙනෙක් නෙවෙයි. ඒත් සැමියා මගේ ජීවිතයට ආවට පස්සේ තමයි මම ඇත්තටම වාසනාවන්තයි කියලා දැනුණේ. මගේ මහත්තයා ධ්ඊ සම්බන්ධ රැකියාවක් කරන්නේ. එයා මේ දවස්වල ගෙදර ඉඳන් ර්ණීද ඹ්ඪදඥ වැඩ කරනවා මාවයි පුතාවයි මිස් කරගන්න බැරි නිසා.

පුතා පවුල් දෙකටම එකතු වුණු පළමුවැනි මුනුපුරා නේද?

ඔව්, මගෙයි මහත්තයාගෙයි පවුල් දෙකටම එකතු වුණු පළමුවැනි මුනුපුරා තමයි අපේ පුතා. මම දැන් ඉන්නේ මහත්තයලගේ ගෙදර. ඉතිං පවුල් දෙකේම සීයලා ආච්චිලා පුතාට පුදුම ආදරයක් තියෙන්නේ. එයා හැමෝගෙම ආදරය විඳින දරුවෙක් වෙලා.

පුතා අනාගතයේ මොන වගේ ක්ෂේත්‍රයක් තෝරා ගන්නවටද උපේඛා කැමැති?

මමයි මහත්තයයි කැමැති දේ නෙවෙයි පුතා කරන්න ඕන. පුතා කවදාහරි කැමැති හොඳ ක්ෂේත්‍රයකින් එයාව උපරිම හොඳ තැනකට යවන්න තමයි අපි උපරිම මහන්සි වෙන්නේ.

පුතා නිසා සංගීත වැඩකටයුතුවලටත් උපේඛාට විරාමයක් දෙන්න වුණා නේද?

ඔව්, පුතා ලැබෙන්න මාස පහකට, හයකට කලින් ඉඳන් වැඩ නැවැත්තුවා. පුතා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත මුල් මාස තුනේ වැඩ කළෙත් නැහැ.

තව කොච්චර කාලයක් සංගීත කටයුතුවලට විරාම තියයිද?

තව මාස පහ හයක් යනකල් ලොකු වැඩක් කරන එකක් නැහැ. හැබැයි පුතාව මම මිස් කරගන්නේ නැහැ. වැඩකට යනවා නම් මට පුතාවත් අරගෙන ගිහින් පොඩි වෙලාවක් සැමියා එක්ක එයාව වාහනේ තියලා හරි වැඩ කරන්න පුළුවන් වෙයි.

පුතා එන්නත් කලින්ම ගීතයක් නිර්මාණය කළා නේද?

ඔව්, පුතා ලැබෙන්න ඉන්නකොට එයා එනකම් බලාගෙන ඉන්න බැරි අත්දැකීමෙන් තමයි 'හාදුව' කියන ගීතය කළේ. ඒ ගීතය පොඩි කාලයක් ඇතුළත ගොඩක් අම්මලා ආදරයෙන් වැලඳගත්තා.

ඒ ගීතයට වීඩියෝවක් කරන්නේ නැද්ද?

තව මාස හයක් වගේ යද්දී ඒ ගීතයට වීඩියෝවක් කරනවා. මමයි පුතයි සැමියයි එක්ක තමයි ඒ වීඩියෝව කරන්න සැලසුම් කරගෙන ඉන්නේ.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post